Connect with us

පුවත්

මාලිමා රජයක් යටතේ ගුරු වෘත්තීයට නිසි තැන

Published

on

තම රජයක් යටතේ ගුරු වෘත්තීය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා (27) මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

“මේ මොහොත ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වෙලාවක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබාගෙනයි මේ දිස්ත්‍රික් ගුරු සමුළුව පවත්වන්නේ. ගුරුවරුන් වන ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම අපේ රටට හොඳ මානව සම්පතක් නිර්මාණය කරන එකයි. දැනුමෙන් පිරුණු, මානවවාදයෙන් පිරුණු අලුත් මානව සම්පතක් අපි නිර්මාණය කරන්න ඕනෑ. අපේ ගුරුවරුන්ට තෘප්තිමත්භාවයක් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුප, අනෙකුත් පහසුකම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඔබ මාස කිහිපයකට පෙර සාධාරණ වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුණා. සාමාන්‍ය පවුලක් පවත්වාගෙන යන්න, දරුවන්ට උගන්වන්න, දෙමව්පියන්ට සලකන්න, අද ගුරුවරයෙකුට ලැබන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. වැටුප ප්‍රමාණවත් නැති වුණට, පහසුකම් නැති වුණාට ඔබට පැවරෙන වගකීම දියුණු මානවයෙක් හැදීමයි. ඔබගේ වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් බවට පත්වෙලා නැහැ. වරායේ, කස්ටම් එකේ, මහ බැංකුවේ රස්සාවකට යනවා තරම් ව්‍යාපාරයක්  කරනවා තරම් ගුරු වෘත්තිය ජනප්‍රිය නැහැ. ගුරු වෘත්තිය අඩු පහසුකම්, අඩු වැටුප් සහිත වෘත්තියක් බවට පත්වෙලා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුල් කොට තිබෙනවා ගුරු වෘත්තිය ලංකාවේ ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් බවට පත්කරනවා කියලා. ඒ ඇයි? අපේ රටේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත දියුණු කරන්නේ නැතිව අපේ රටට අනාගතයක් නැහැ. අපි විශාල කාර්මීකරණ රාජ්‍යයක් නොවෙයි. අපේ රට ගල් අඟුරු, රත්තරන්, තෙල්, ගෑස් වැනි වාණිජ සම්පත් තිබෙන රාජ්‍යයක් නොවෙයි. ඒ නිසා  අපේ සම්පත මානව සම්පත බවට පත්කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා රටටත් ලෝකයටත් අවශ්‍ය වන දියුණු මානයෙක් අපි හදන්න ඕනෑ. එහිදී අධ්‍යාපනයට ලැබෙන කර්යභාරය අති විශාලයි.
අපේ ග්‍රාමීය ජනතාව මුහුණදී තිබෙන දුප්පත්භාවයෙන් ඔවුන් මුදාගන්නේ කොහොමද? තාත්තා ගොවියෙක්, ධීවරයෙක් වූ නිසාම පුතත් ගොවියෙක් හෝ ධීවරයෙක් වුණා. අද එම රැකියා ආදර්ශමත් වෘත්තීන් බවට පත්වෙලා නැහැ. ග්‍රාමීය දුප්පත්භාවයේ පදනම බවට පත්වෙලා තිබෙන්නේ හරිහමන් ආදායමක් සහිත වෘත්තියක් නොමැතිකම. එක පැත්තකින් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ආදර්ශමත් වෘත්තියක් බවට පත්කරන්න ඕනෑ. එම පවුල්වල දරුවන් නව වෘත්තීන්වලට යොමු කරන්න ඕනෑ. නව ආර්ථික අවස්ථා හදන්න ඕනෑ. ග්‍රාමීය තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථා හදන්නේ නැතිව, ආර්ථිකයේ නව දොරටු විවෘත කරන්නේ නැතිව දුප්පත්භාවයෙන් මුදා ගන්න බැහැ. ආර්ථිකයේ නව අවස්ථා හදනවා නම් එය ගොඩනැගිය හැකි වන්නේ අධ්‍යාපනයෙන්. 

අපේ සමාජය විශාල ලෙස අපරාධවලට ගොදුරු වෙලා. කුඩු වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා. පසුගිය කාලයේ රිමාන්ඞ් බන්ධනාගාර ගත වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් ඉගෙන ගත් අය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් අධ්‍යාපනය ලැබූ අය. ඒ කියන්නේ අපරාධවලටයි, මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහිවීමයි අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා. යහපත් පුරවැසියෙක් ගොඩනඟන්න අධ්‍යාපනයත් ප්‍රධාන වැඩක්. දරුවෝ අධ්‍යාපනයට යොමු වුවහොත් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට, යොමු වීම අඩුවෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනැගීමේදී අධ්‍යාපනය ඉතාමත් වැදගත්. ජාතිවාදයට ගොදුරු වී තිබෙන සමාජය ඉන් ගොඩගැනීමේදී අධ්‍යාපනයට විශාල හිමිකමක් ලැබෙනවා. ලෝකයේ වේගයෙන් අලුත් දැනුම නිර්මාණය වෙනවා. තාක්ෂණයේ මහා පිමි ගන්නවා. තාක්ෂණය හරහා මාලු සම්පත ඉන්න දිශාව ධීවරයාට ලැබෙන පණිවිඩය අනුව ධීවරයා මුහුදු යනවා. ඒ තරමට තාක්ෂණය දියුණුවී තිබෙනවා. අපේ රට ඉදිරියට ගෙනයාමට නම් තාක්ෂණයේ, විද්‍යාවේ විශාල ජයග්‍රහණයන් අත්පත් කර ගන්න ඕනෑ. ඒවා අත්පත්කර ගන්න අධ්‍යාපනය අවශ්‍යයි. ලංකාවේ ජනතාව දියුණු ජාතිකයක් බවට පත්කිරීමේදී, ආර්ථිකය ගොඩනැගීමේදී අධ්‍යාපනයට ප්‍රධාන වැඩකොටසක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියේ ප්‍රධාන වැඩ කොටසක් වන්නේ අධ්‍යාපනය දියුණු කිරීම. අධ්‍යාපනය දියුණු කරන්න ඒ සඳහා පහසුකම් හදන්න ඕන. ගුරුවරුන්ට අවශ්‍ය වෘත්තියේ ගෞරවය, ගුරු වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් වෙන්න ඕනෑ. නව දැනුම ගුරුවරුන්ට ලැබෙන්න ඕනෑ. මේවැනි ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයක් කරන්න අපි ලැහැස්තියි. අපේ රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර හැමදෙනාම වෙනසක් බලාපොරොත්තු වෙනවා. වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන් සෑම කෙනෙක් තුළම උද්යෝගයක්, උද්ඝෝෂණයක් තිබෙනවා. ඒ වෙනස ඇති කිරීම සඳහා තීරණාත්මක ජනාධිපතිවරණයක් ඒමට නියමිතව තිබෙනවා. මේ වෙනස ඇති කළ හැකි වන්නේ කාටද? 

රනිල් වික්‍රමසිංහ 1977 සිට මේ දක්වා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයෙක්. ඒ කියන්නේ පැරණි අය. අවුරුදු 50කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳිමින්, අධ්‍යාපන ඇමති, විදේශ ඇමති, තරුණ ඇමති, අගමැති, ආර්ථික ඇමති, මුදල් ඇමති, ජනාධිපති ධුර දරා තිබෙනවා. වෙනසක් ඇති කළාද? අද වෙනසක් වෙනුවෙන් එකතු වෙන්නේ කවුද? පොහොට්ටුව නිල වශයෙන් රනිල්ට සහාය දෙන්න ප්‍රකාශයක් කර නැහැ. නමුත් පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්ධනාගාර ඇමති වෙලා ඉන්න කාලේ රෑ බන්ධනාගාරයට පැනලා, සිරකරුවන් පෙළ ගස්වලා, තරුණයන්ගේ ඔලුවට පිස්තෝලෙ තිබ්බ රොහාන් රත්වත්තේ රනිල්ට සහාය දෙන්න ඉදිරිපත් වී තිබෙනවා. කප්පම් අරගෙන, මහාධිකරණයේ වැරදිකරුවෙක් වෙලා අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ප්‍රසන්න රණතුංග, මිරිස් කුඩු යාළුවා ප්‍රසන්න රණවීර, මීගමුවේ නිමල් ලංසා, මඩකලපුවේ පිල්ලෙයාන් රනිල්ට සහාය දෙන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. වෙනස් කරන්න ඉස්සෙල්ලාම වෙනස් නායකත්වයක්, වෙනස් පිරිසක් ඕනෑ. දශක ගණනාවක් අපේ රට පාලනය කරපු අවුරුදු දහය පහළොව ඇමතිකම් දරපු, පැරණි, අසර්ථක ඒ ඔක්කෝම එකතු වෙලා වෙනසක් වෙනුවෙන් ඡන්දේ ඉල්ලනවා. ජනතාවගේ අපේක්ෂාව වෙනසක්, ඒ වුණාට රනිල්ගෙන් ඒ වෙනස දෙන්න බැහැ. 

සජිත් පේමදාසට පුළුවන්ද වෙනසක් කරන්න? එයාට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න තිබෙන එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම පමණයි. සජිත් ගැන එයාගෙ සභාපති සරත් ෆොන්සේකා කතා කරනවා. එයා ගැන දැන ගන්න ඒ ඇති. මේ රටේ වෙනසක් කරන්න තෝරා ගන්න තිබෙන පාර ජාතික ජන බලවේගයේ අපි නියෝජනය කරන පාර පමණයි. විශේෂයෙන්ම ගුරුවරුන්ට වගකීමක් තිබෙනවා. වැටුප් වැඩිකර ගැනීමට දීර්ඝ උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණය නතර කරන්න ආණ්ඩුව සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට ආවා. අයවැය ලේඛනයට යෝජනාව ඇතුල් කළා. පියවර කිහිපයකට වැටුප් වැඩිකරන්න එකඟ වුණා. ඒ එකඟතාවය ඉටු කරන්න කියල ගුරුවරු  ඉල්ලන්නේ. ආණ්ඩුව ඒකට උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් වෙන්නොකර පරිපූරක ඇස්තමේන්තුවකින් කෝටි 875ක් වෙන්කරනවා. රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් අවුරුද්දකට වෙන්කළ සල්ලි මාස හතරකින් ඉවර කළා. මන්ත්‍රීවරුන්ට ඡන්ද කරන්න කෝටි 120ක් දෙනවා, අයවැයෙන් වෙන් නොකළ සල්ලි. හැන්ද තියෙන්නේ ඒගොල්ලන් ගාව. ඒ හැන්දෙන් එයාලට බෙදා ගන්නවා. ගුරුවරුන්ට අයවැයෙන් වෙන් කළ සල්ලි දෙන්නේ නැහැ. ගුරුවරු සාධාරණ උද්ඝෝෂණයක් කළා. ලිව්වා. සාකච්ඡා කළා. රනිල්ගේ උත්තරය වුණේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර. එයාට ඒවා කළ හැක්කේ එයා ජනාධිපති නිසා. රනිල් ආවේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු අරගෙන. ඔබ යන්නේ මොකක් අරගෙනද? ඡන්ද කාඞ් එකයි, හැඳුනුම්පතයි අරගෙන. මේ ගනුදෙනුව බේරා ගන්නම ඕනෑ. මේ රටේ ගුරු පරපුර රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කිරීම සඳහා ඉදිරියට එනවා, වැඩ කරනවා, ඡන්දේ දෙනවා කියලා අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. 
අපි කරන්න ඕන වෙනස මොකක්ද? අපේ රටේ ව්‍යසනයක් වෙලා තිබෙනවා ජාතිවාදය. දේශපාලනය සම්පූර්ණයෙන්ම ජාතිවාදය මත, පදනම් වෙලා තිබෙන්නේ.  එකිනෙකාට එරෙහි දේශපාලනයක්. 2019 ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තිබෙන්නේ මුස්ලිම් ජනයාට එරෙහි දේශපාලනයක් මත. ඒ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ජාතිය සමගි කිරීමේ දේශපාලනයක් ඇති කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ඇති කරන වෙනස තමයි, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගි කරන දේශපාලනයක් කිරීම. 

අපේ සියලු කර්මාන්ත ශාලා විකුණුවා. මේ විකුණන දේශපාලනය අවුරුදු 50කට වැඩියි. විකුණන දේශපාලනයක් නොවෙයි ඕන. ඒවා රැකබලාගෙන අලුත් තාක්ෂණය ගෙනත් නිෂ්පාදනය වැඩිකරන අලුත් දේශපාලනයක් ඕනෑ.  මඩකලපුවට අවශ්‍ය මොන දේශපාලනයක්ද. වාලච්චේන කඩදාසි කම්හලට පණ පොවලා අලුත් තාක්ෂණය ඇති කරලා, තරුණ පරම්පරාවට රැකියා ඇති කරලා රටේ ආර්ථිකය දියුණු කරන්න ඕනෑ කියලා අපි යෝජනා කරනවා. ජාතික ජන බලවේගයේ අපි හදන ආර්ථිකය ඒක තමයි වෙනස. ඒ ගොල්ලන්ගේ දේශපාලනය දූෂිතයන් රකින දේශපාලනය. ජාතික ජන බලවේගයේ දේශපාලනය දූෂිතයන්ට දඬුවම් දෙන, සොරකම් කරන ලද ධනය පවරා ගන්න දේශපාලනය. දේශපාලනය කියන්නේ පුරවැසියන්ට, නිදහසේ, තමන්ගේ අදහස් කියන්න, නිදහසේ ක්‍රියාකාරිත්වයේ යෙදෙන්න පුළුවන්කම තියෙන්න ඕන පාලනයක්. 

මඩකලපුවේ ජනතාව බය කරන දේශපාලනයක් තියෙනවා. පුරවැසියන්ට අයිතියක් තියෙනවා තමන් කැමති දේශපාලයක යෙදෙන්න. ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි අද පිල්ලෙයාන්ට බයවෙලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සියලු අතුරු හමුදා නිරායුධ කරනවා. එක කණ්ඩායමකට නීති විරෝධී ලෙස අවි දරාගෙන, රාජ්‍ය අනුග්‍රහය සහිතව දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙද? වැඩ කිරීම ඔබගේ අයිතිය. ඒක කිසිවෙකුට යටපත් කරන්න ඉඩ දෙන්න බැහැ. අතුරු හමුදා නිරායුධ නොකර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරන්න බැහැ. 

පසුගිය කාලයේ අපේ රටේ විශාල ඝාතන ප්‍රමාණයක් සිදුවුණා. පාස්කු ප්‍රහාරයක් සිදුවුණා. ඒව ගැන විමර්ශනය කරගෙන යනකොට අතුරු හමුදා කල්ලි ගැන තොරතුරු එළියට එනවා. නිල හමුදාවන් අතේ පමණයි ආයුද තිබිය යුතු වන්නේ. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගය. අනෙක් හැම දෙනාම ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා වගේම පක්ෂයේ ප්‍රධානීන් බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපි පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරන පාලනයක් ඇති කරනවා. දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව පොදු ප්‍රශ්නවලට මුහුණ දෙනවා වගේම ඔවුන්ට අනන්‍යවූ ප්‍රශ්නත් තිබෙනවා. දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට තමන්ගේ භාෂාවෙන් රජයත් සමග ගනුදෙනු කරන්න තිබෙන අයිතිය අපි තහවුරු කරනවා. ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතියට ගරු කරමින් ආරක්ෂා කරමින් අපි ඉදිරියට ගෙන යනවා. ඔබගේ ආගම ඇදහීමට අවශ්‍යතාවය අපි හදනවා. ඒක තමයි අපි  ඇති කරන වෙනස. දෙමළ ජනතාව කල්පනා කරන්නේ මේ ආණ්ඩු පාලනයෙන් තමන් පිටස්තර වූවන් ලෙස. ආණ්ඩුව කියන්නේ සිංහලයාගේ, කොළඹ තිබෙන ආණ්ඩුවක් ලෙස ඔවුන් සිතනවා. ඒක අපි මුළුමනින්ම වෙනස් කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ නියෝජනය සහිත ආණ්ඩුවක්. උතුර, දකුණ, නැගෙනහිර සියලු දෙනාගේ කැමැත්තෙන් හැදෙන ආණ්ඩුවක්. දකුණේ දේශපාලනයේ ජාතික ජන බලවේගය සමග හැප්පෙන්න කිසිදු දේශපාලනයක් නැහැ. දකුණ දිනන්නේ අපි. සිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ එහෙම ආණ්ඩුකට පමණයි. එහෙම ආණ්ඩුවක් තමයි මෙතෙක් හැදුණු ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් වෙන්නේ. එහෙම ආණ්ඩුවක් අපි හදමු. ඔබ ඉතා හොඳින් මේ පණිවිඩය ගෙන යන්න. ශක්තිමත් ජයග්‍රහණයන් ජාතික ජන බලවේගයට ලබාදෙන්න මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් වැඩ කරමු.”

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved