මාෆියාව සුද්ද නොකර ආණ්ඩුව වටේට ගොස් ත්‍රීවීල් කෑලි ගලවමින් සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (08) පාර්ලිමේන්තුවේදි පැවසුවේය.
අද පාර්ලිමේන්තුවේ සිය අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එදා දේශපාලන වේදිකාවේ උඩ පැන පැන බලය ලැබුන විට මාෆියා නැතිකරන බව කියූ අනුර ඇතුළු ආණ්ඩුවට දැන් දින 100ක් ගතවෙද්දීවත් ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක්වත් නොමැති බවයි
මන්ත්‍රීවරයා දැක්වූ අදහස්,
“මහා පරිමාණ සහල් මෝල් හිමියන් ලක්ෂ ගානක් වී තොග ගබඩා කරගෙන තියෙනවා. හැබැයි හාල් ගිනි ගණන්. සාමාන්‍ය මිනිහට හාල් ගන්න බෑ.
දිගටම රටේ සංවාදයක් තිබුනා. දේශපාලන වේදිකාවේ හඬක් නැඟුවා මේ වී ගොවියාට සාධාරණ මිලක් දෙන අතර පාරිභෝගිකයාට සාධාරණ හාල් මිලක් දෙන්න කියලා. අද දෙකම වෙන්නේ නෑ. දැන් මේ මාස 3ක් දින 100ක් දෙකම වෙන්නේ නෑ. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා.
විශේෂඥයෝ කීපදෙනෙක්, National Institute Post Harvest Management (NIPHM) කියනවා මහා පරිමාණයේ වී මෝල් හිමියන් දවසකට උපයන ආදායම ලක්ෂ 40ක්. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 1200ක් උපයනවා කියලා NIPHM කියනවා. දැන් ඔයාලා දන්නවා කොහෙද ලාබේ තියෙන්නේ? මේ වාසිය ගොවියාට යන්නෙත් නෑ. පාරිභෝගිකයාට යන්නෙත් නෑ. මේ ආණ්ඩුව පත් කරේ සිස්ටම් චේන්ජ් එක කරන්න.
මේ ක්ශේත්‍රය තුල සිටින බැඳියාවන්, පුද්ගලික බැඳියාවන් තියෙන මහා පරිමාණයේ වී මෝල් හිමියන් ව්‍යාපාරික බලවතුන් දේශපාලන බලවතුන් බැංකු නිලධාරීන් එකතු වෙලා ඒ ගොල්ලන්ගේ තවත් මාෆියාවක් මේ රටේ තියෙනවා. මේක අපි දන්නවා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එදා මැතිවරණ වේදිකාවේ හිටගෙන උඩ පැන පැන කිව්වා ජේවීපී එකට විතරයි මේ මාෆියාව කඩන්න පුලුවන් කියලා. බලයට ආව ගමන් කඩනවා කිව්වා…….
හාල් මාෆියාව සුද්ද කරන්නේ නැතුව වටේට ගිහින් අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල රට වටේ ගිහිල්ලා මේ ත්‍රීවීල් වල තියෙන බුදු පිළිම ගලවනවා…..පදික වේදිකාවේ දුප්පත් මිනිස්සුන්ගේ බුලත් කඩ ටික කඩනවා. මේක නෙවේ මිනිස්සු ඉල්ලුවේ.
ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඒක ඉස්සරහට දාගෙන මේ මහා පරිමාණ වැරදි ටික වසාගෙන යනවා”.