Connect with us

පුවත්

මැතිවරණ නීති කඩකරපු ජනාධිපති මාධ්‍ය ප්‍රධානියෙකුට වැඩ වරදියි

Published

on

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ (4) දිනයේ ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම් ගැන මැතිවරණ කොමිසමට හා නිරීක්ෂණ සංවිධානවලට පැමිණිලි ලැබී ඇති බවට වාර්තා වේ.

එහිදී විශේෂත්වය වන්නේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ තොරතුරක් බෙදාහැර ඇති බවට මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිල්ලයි.

මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිල්ලේ සදහන්ව ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු සත්‍යාපනය පිළිබඳව නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස තැපැල් ඡන්ද පිළිබදව අසත්‍ය තොරතුරු බෙදාහැර ඇති බවය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ පෙරවරු 11.00 වනවිට පැවැති අගය යැයි දක්වමින් නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමක් ලෙසින් ෆේස්බුක් පෝස්ටුවක් සිය ෆේස්බුක් ගිණුමේ බෙදාගෙන ඇති අතර එහි රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාට ඡන්ද භාවිත කළ ප්‍රතිශත බවට ව්‍යාජ තොරතුරු දැක්වීමක් සිදුකර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් (ආරාවුල් නිරාකරණ) පියුමි ආටිගල මෙනෙවිය සදහන් කළේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමක්වත් සිදු නොකළ පසුබිමක මෙසේ ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ආකාරය බවට හැඟී යන සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම බරපතල වරදක් බවය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යභාරය පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවද ඡන්ද ගණන් නොකළ පසුබිමක මෙවැනි තොරතුරක් බෙදාහැරීම මුළුමනින්ම ජනතාව නොමග යැවීමක් බවද ආටිගල මෙනෙවිය අවධාරණය කළාය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත බව දක්වමින් ෆේස්බුක්හි පළ කළ මෙම පෝස්ටු ඉවත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ බවත් ඒ අනුව මෙම වරද සම්බන්ධයෙන් ගත යුතු පියවර මැතිවරණ කොමිසම ඉදිරියේදී තීන්දු කරන බවත් එහි කොමසාරිස් එම්.ඒ.පී.සී පෙරේරා මහතා පවසයි.

තැපැල් ඡන්ද ගණන් කරනු ලබන්නේ එළැඹෙන 21 වැනිදා බවත් එසේ තිබියදී ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශත යැයි හැඟෙන අයුරින් මෙලෙස තොරතුරු බෙදාහරින්නේ කෙසේදැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රශ්න කර සිටී.

මෙමගින් මුළුමනින්ම සිදු කෙරෙනුයේ තමන් සහය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම බවද සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දෙන්නේය.

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved