Connect with us

පුවත්

මීඩියා IDඑක පහුගිය අවුරුද්දේ හමුදාවට හා පොලිසියටත් දීලා!

Published

on

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ව තිබේ.

පසුගිය අප්‍රේල් 29 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවසාන භාගයේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් සමග පමණක් ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.

එහිදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර ඊට ප්‍රතිචාර දෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, සියලු මාධ්‍යවේදීන්ට එම මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ගන්නා ලෙස ය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ සංවිධාන රැසක් විරෝධය පළ කර තිබේ.

ඇමැති කිව්වේ දේ…

“මම මෙතන ඉන්නේ කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීරණ ඔබට දැනුම්දීමටත්, ඊට අමතරව කැබිනට් පත්‍රිකා මත ප්‍රශ්නයක් එනවා නම් හරි, ඊට අමතරව අත්‍යවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා උත්තර දෙන්න. ඒ වගේම මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන් ම දැන් අපි මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි ඒ මාධ්‍ය හැඳුනුම්පත සහිත අය එක්ක තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ,” යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර, ඔවුන් කියා සිටියේ මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට අයදුම් කළ විට එම තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා නිෂ්කාශනයක් ලබා ගන්නා බවත් එය ප්‍රමාද වීමෙන් හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි අවස්ථා ද වන බවත් ය.

එලෙස මාධ්‍යවේදීන් අදහස් දක්වන අතරතුරේ නැවතත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය මර්දනයක් හෝ එවැනි දෙයක් සිදුනොවන බවත් සියලුදෙනා ම එම හැඳුනුම්පත ලබා ගත යුතු බවත් ය.

“කිසිම ආකාරයක මර්දනයක් සිද්ධ වෙන්නේ නෑ. ඔබ කවුරුත් අයිඩෙන්ටි පාවිච්චි කරන අය. කවුරුත් ඩ්‍රයිවින් ලයිසන් පාවිච්චි කරන අය. කවුරුත් පාස්පෝට් පත් කරන අය. ඒ වගේ ම රජයෙන් ඉල්ලුම් කරන ඔබ සියලුදෙනාටම මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනවා. කරුණාකරලා ඒක ගන්න. මොකද මතක තියාගන්න මීට කලින් මේ තීන්දුව ගත යුතුව තිබුණා,” ඔහු පැවසීය.

අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙම හැඳුනුම්පත මත පදනම් ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ රජය කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ සඳහා අනුගත වන ලෙසත් ය.

“අපි රජය හැටියට ඒ මාධ්‍ය හැඳුනුම්පතට වටිනාකමක් ලබා දෙනවා. ඒකට අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. ඒ මත පදනම් වෙලා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒකට අනුගත වෙන්න කියන ඉල්ලීම අපි කරනවා,” ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හා එහි නීතිමය පසුබිම

ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් ව, සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන කරනු ලබයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 වසරේදී කරුණු විමසීමක් සිදු කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.

එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඊට පිළිතුරු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.

‘මේ ක්‍රමවේදය වැරදියි’

බීබීසී සිංහල විසින් සිදුකරනු ලැබූ විමසීමකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවය.

“ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් රජයෙන් නිකුත් කළ යුතු නෑ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තමයි හැඳුනුම්පතක් නිකුත් කරන්නනේ. සමහර රටවල්වල මාධ්‍ය ආයතනවලින් හැඳුනුම්පත් නිකුත් කරනවා. සමහර රටවල්වල මාධ්‍ය සංවිධානවලින් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධ වරලත් ආයතනයක් නෑ,” ඔහු පවසයි.

“ලංකාවේ දැනට තියෙන ක්‍රමය තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන එක. මේ හැඳුනුම්පත එන්නේ නීතියක් යටතේ නෙවෙයි, ආයතනය ගත්ත තීන්දුවක් අනුව. ඒකට කිසිම වලංගු භාවයකුත් නෑ. ඒ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපට ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය වැරදියි.”

ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් මතුකරන ප්‍රශ්නයට අදාළ වන්නේ මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ය. එය දෙපාර්ශවයේම වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නයක් බව ඔහු පවසයි.

“දැන් මේ ප්‍රශ්නය මතුවුනේ කැබිනට් ප්‍රෙස් එක හින්දා. ඇමතිවරයා මෙහෙම කියන්නේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන හින්දනේ. ප්‍රශ්න අහන හැමෝටම වගේ ඔය කියන හැඳුනුම්පත තියෙනවා. එතකොට තියෙන්නේ හැඳුනුම්පතේ ප්‍රශ්නයක් නොවෙයි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් සහ ඇමතිවරයා ප්‍රශ්නවලට උත්තර දුන්න විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.

එමෙන් ම රජය විසින් මෙලෙස මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ මත දරන නිසා, එලෙස ලබා ගැනීමට අකමැති මාධ්‍යවේදීන්ට මෙවැනි අනිවාර්යකිරීමක් හරහා අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.

“සමහර මාධ්‍යවේදීන් ඉන්නවා රජයෙන් හැඳුනුම්පත ගන්නේ නෑ.රජය එහෙම හැඳුනුම්පතක් දෙන්න අවශ්‍ය නෑ, ඒක වැරදී කියලා හිතෙන නිසා ගන්නේ නෑ. එතකොට ඒ වගේ අයට ඔය තීන්දුවෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්.”

තවද රජය විසින් නිකුත් කරන මෙම හැඳුනුම්පත මාධ්‍යවේදීන් නොවන පිරිස්වලට ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඔය හැඳුනුම්පත තියෙන හැමෝම ජනමාධ්‍යවේදීන් නෙවෙයි. පහුගිය අවුරුද්දේ අන්තිම වෙද්දී රජයේ හමුදාවල සෑහෙන්න පිරිසකට ඔය හැඳුනුම්පත තිබුණා. පොලිසියේ අයට හැඳුනුම්පත් දීලා තිබුණා. ඒ නිසා හැඳුනුම්පතේ ප්‍රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්.”

‘ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි’

මෙලෙස ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම සහ එය නොමැති මාධ්‍යවේදීන්ට සීමා පැමිණවීම මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බලපෑමක් බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.

“කැබිනට් මාධ්‍ය හමුව තමයි රජයේ ප්‍රධාන ම මාධ්‍ය හමුව. ඒ මාධ්‍ය හමුවේදී ඉස්සර ඉඳන් ම ජනමාධ්‍යවේදීන් ගිහින් ප්‍රශ්න අහනවා. ජාතික වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ගැන අහලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විෂය භාර ඇමතිවරුන් නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මාධ්‍යවේදීන් යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති එක ම අවස්ථාව මෙම මාධ්‍ය හමුව බව ය.

“අනිත් ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි. ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් වෙන්නේ කැබිනට් තීන්දු ගැන කිව්වා කියලා තේරුමක් නෑනේ. ඒක වෙබ් එකටත් දානවනේ.”

ඔහු පවසන්නේ ජනමාධ්‍යවේදීන්ගේ “වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීම සීමා කරනවා නම් හෝ ප්‍රශ්න අහන ජනමාධ්‍යවේදීන්ට එන්න නොදෙනවා නම් එය තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කියන දෙකම උල්ලංඝණය කිරීමක්,” බව ය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් එයට කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින පාර්ශවකරුවන් විසින් ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ගොඩ නැගීම පමණක් මිස හැඳුනුම්පත අනිවාර්ය කිරීම නොවන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසුවේ ය.

“ජනමාධ්‍ය සංවිධාන එකතුවෙලා, ජනමාධ්‍යට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරගෙන ජනමාධ්‍යවේදීන් සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕනේ. ඒක හදන්න ඕනේ ජනමාධ්‍ය සමාජය විසින්. එහෙම හදන යාන්ත්‍රණයට නෛතික පිළිගැනීමක් දෙන්න රජයට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ඉක්මනින් ම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයන මතුවුණ වෙලාවේ ම ඒක කරගන්න පුළුවන්නම් හොඳයි,” ඔහු පැවසුවේ ය.

| BBC සිංහල සේවය

පුවත්

ජනපති වෙනුවෙන් මැදියම් රැයේ පැමිණි නීතීඥයින්

Published

on

By

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ සාවද්‍ය ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් ඉල්ලා ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිල්ලක් ගොනු කරන ලදී.

එම නීතීඥවරුන් විසින් අදාල පැමිණිල්ල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේදී ඉදිරිපත් කරන ලදී.

මෙම පැමිණිල්ල නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම මහතා ද මෙම අවස්ථාව වෙනුවෙන් එක්ව සිටියේය.

Continue Reading

පුවත්

පුංචි ඡන්දයට ඡන්ද මධ්‍යස්ථාන සකස්කිරීම ඇරඹෙයි

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී ඡන්දය පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 3,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මැයි මස 7 වෙනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.

මීට අමතරව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන්ට අද සිට මැයි මස 7 වන දින දක්වා නිවාඩු ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එම නිවාඩුව අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දිනයන්හි බස්නාහිර පළාතේ අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සියලූම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

කිසියම් වාහනයකට අදාළව වාහන ආදායම් බලපත්‍රයේ වලංගු කාලය අදාළ දිනවල දී අවසන් වන්නේ නම් දඩ අයකිරීමකින් තොරව රාජකාරී ආරම්භ කරනු ලබන පළමු දිනයේදීම එම වාහන සඳහා බලපත්‍ර ගාස්තුව පමණක් ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මේ අතර නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ද අද සහ හෙට යන දෙදින වසා තැබීමට නියමිතව තිබේ.

ඒ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම හේතුවෙනි.

Continue Reading

පුවත්

මාස තුනට අල්ලස් නඩු 1,250 පනී

Published

on

By

2025 වසරේ ගත වූ පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ.

ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31 වනදින දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 06 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙකු, කම්කරු නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඒ අතර වන බව සඳහන්ය.

ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරියෙකු, අධිකරණ අමාත්‍යංශ සේවකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ද සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වසරේ ගත වු කාලය තුළ චුදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved