Connect with us

පුවත්

මෙවර අයවැය රටට අලුත් දිශානතියක්

Published

on

2025 වර්ෂයේ අයවැය විවාදයේ පළමු ඡන්ද විමසීම සිදු කරන දින (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළාය.

ජාතික ජනබලවේග ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරන මේ මොහොතේ කතා කිරීමට ලැබීම සතුටක්.

මම ඉල්ලා සිටිනවා විශේෂයෙන් අපේ රටේ ජනතාවට මේ ඉදිරිපත් කරලා තියෙන සංඛ්‍යා ලේඛනවලට එහා ගිහිල්ලා මේ අයවැය තුළ ප්‍රකාශ වෙන චින්තනය හොඳින් අධ්‍යයනය කරන්න කියලා.

මෙම අයවැය රටට අලුත් දිශානතියක්, අලුත් චින්තනයක් සහ විශේෂයෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුව පදනම් වෙලා තියෙන වටිනාකම්, අපේ මූලධර්ම ප්‍රකාශයට පත් කරන, පත්වෙන ඒ මත හැදුණු අයවැයක් කියන එක මං පැහැදිලිව පෙන්වා දෙනවා.

අපේ ඉදිරි ක්‍රියාවලිය. අපේ ගමන් මගේ පදනම, අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන සමාජය, අපි හදන්න යන රට හා ඒ රට තුළ තිබිය යුතු වටිනාකම් මොනවාද යන්න මෙම අය වැය මත ඉතාමත් පැහැදිළිව ඇතුලත්ව තිබෙනවා.

විපක්ෂය දිගින් දිගටම මෙම අයවැය පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමේ දී මෙය නව ලිබරල්වාදී අයවැයක් ලෙසත්, රනිල්ගේ ප්‍රතිපත්තිවල දිගුවක් ලෙසත් හදුන්වා දෙනවා. සමහර වෙලාවට කියනවා මේක ඔවුනුත් කරන්න හිටපු දේ, ඔවුන්ගේ යෝජනා තමයි මේ කතා කරන්නේ කියලා. ජාතික ජන බලවේගය කියන්නේ වාමාංශික පක්ෂයක් නිසා මේක පරස්පරයි යනුවෙනුත් පවසනවා.

මං හිතන්නෙම විපක්ෂය ගොඩනගන්න හදන තර්කය තුළ  ඔවුන්ගේ චින්තනය පැටලිලා තියෙන්නේ. අපේ චින්තනය නම් ඔවුන්ට කොහොමත් තේරෙන්නේ නෑ. ඒක සාධාරණයි. මෙය නවලිබරල්වාදී අයවැයක් ලෙස ඔවුන් හදුන්වනවා.

නවලිබරල්වාදය ගැන කතා කරනකොට එය පදනම් වෙලා තියෙන මූලික දේවල් කීපයක් තියෙනවා. ඒවායින් කීපයක් තමයි ආර්ථික ක්‍රියාවලිය තුළින් රජය ඈත් කිරීම, වෙළඳපොළට ප්‍රධාන තැනක් ලබා දීම, වෙළදපොල තරයේ විශ්වාස කරමින් වෙළදපොල හසුරවන්න සම්පූර්ණ නිදහස ලබාදීම. නව ලිබරල්වාදය ගැන කතා කරද්දි ආර්ථිකයකට පමණක් ලඝු කලාට නව ලිබරල්වාදී  චින්තනය තුල සමාජයම ප්‍රතිසංවිධානය වූවා. සමාජය ප්‍රතිසංවිධානය වීමට මූලික කරුණක් නව ලිබරල්වාදය තදින් විශ්වාස කරන පුද්ගලවාදය. සමාජයක් ගැන නෙවෙයි ඔවුන් කතා කරන්නේ පුද්ගලයින් කේන්ද්‍රකරගත් චින්තනයක් නව ලිබරල්වාදයේ තිබෙන්නේ.

එයට හොදම උදාහරණය තමයි නව ලිබරල් වාදයේ ප්‍රධාන න්‍යාචාර්යවරියක් ලෙස හදුන්වන දේශපාලනිකව නායකත්වය දුන් මාග්‍රට් තැචර් පවසනවා සමාජයක් කියලා දෙයක් නැහැ ඉන්නේ පුද්ගලයින් පමණයි කියලා. ඒකෙන්ම පෙන්නුම් කරන්නේ නව ලිබරල්වාදී චින්තනය තුළ තිබෙන පුද්ගලවාදී අදහසයි.

නව ලිබරල්වාදයේ අර්ථකතනය පැත්තක තියලා බලමු ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූයේ නව ලිබරල්වාදය ද කියලා. ඒක නෙවෙයි විපක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් ක්‍රියාත්මක කලේ. ඔවුන් ඉදිරිපත් කලාට නව ලිබරල්වාදය කියලා එය නව ලිබරල්වාදය නොවේ. අපි බාරගන්නකොට රට තුළ තිබ්බේ නව ලිබරල්වාදයකුත් නෙවෙයි. ඇත්ත වශයෙන්ම තිබ්බේ පවුල්වාදය සහ ගජ මිතුරු කණ්ඩායමකට උදව් කරන පාලන ක්‍රමයක් සහ ආර්ථිකයක්.

ලිබරල් වාදයට අනුව පාලනය රාජ්‍ය සේවයෙන් ඈත් විය යුතුයි. නමුත් මෙතෙක් කල් මේ රට පාලනය කරපු අය රාජ්‍ය සේවය ඔවුන්ගේ පෞද්ගලික දඩබිමක් කරගෙන පෞද්ගලික ආයතන ලෙස සලකමින් අත්තනෝමතික විදිහට මේ රාජ්‍ය සේවය පුළුල් කරා. සමාජය රාජ්‍ය සේවය බරක් ලෙස දකින තැනකට ඇදගෙන ගියා. වෙළඳපොළ විකෘති කරා. වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක කරන්න නෙවෙයි මැදිහත් වුනේ.අන්තිමට ඇතිවුනේ ඉතාමත්ම දූෂිත පුද්ගලික හේතු මත තීන්දු තීරණ ගන්න විකෘති වෙච්ච ආර්ථිකයක්.

ආර්ථික මතවාදයක් තිබ්බේ නෑ . පුද්ගලික මතවාදයක් විතරයි තිබ්බේ. ඒ විකෘති කරපු කඩා වට්ටපු දූෂිත රට තමයි අපිට බාරගන්න සිද්ධ උනේ. ඉතින් අපට පටන් ගන්න වෙන්න එතනින්. අපිට ලැබුණේ සුපිරිසිදු හරියට ක්‍රියාත්මක වන නවලිබරල්වාදය තුළ පැවතුණු රටක් නෙවෙයි.

මේ අයවැය තුළ තියෙනව සාමූහිකත්වය, සමාජය ශක්තිමත් කරන්න අවශ්‍ය මැදිහත්වීම, සමානාත්මතාව, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය. මෙය නිකං උඩින් තියෙන ප්‍රජාතන්ත්‍රවාදයක්  නෙවේ. ඇත්තටම අර්ථවත් ජන සහභාගීත්වයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්. වෙළදපොල නියාමනය කරන එක ගතහොත් රජයේ වගකීම වෙළඳපොළ නියාමනය කිරීම විතරක් නෙමෙයි. අපේ චින්තනය තුළ තියෙන්නේ පුද්ගලික හා රාජ්‍ය යන පාර්ශව දෙකම මැදිහත් වීම මත ගොඩනැගෙන වෙළඳපොළක්.  අපි දකින්නේ නෑ රජයේ එකම කාර්යභාරය වෙළඳපළ නියාමනය කිරීම කියලා රජයටත්  කාර්යයක් තියෙනවා. මේ සියල්ලම තමයි අපේ අයවැය තුළ අප තුළ තියෙන ඒ චින්තනය. ඒ චින්තනයට තමයි අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථකථනයක් දීලා තියෙන්නේ.

මේ අයවැය තුළ අපි කාවවත් අතඇරලා නෑ. කාන්තාවන්, දරුවන්,සියලුම පීඩාවට පත්වුන ජනකොටස් ආමන්ත්‍රණය කරලා තියෙන ඔවුන්ට යම් සැලකීමක් දක්වන අයවැයක්. අවුරුදු ගානක් තිස්සේ ආයතනගත වී සිටින දරුවන් සමාජගත කරන පිළිවෙල පිළිබදව, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් වසර ගණනක් සටන් කරපු දේවල් මේ අයවැයෙන් ඉටුවෙලා තියෙනවා. දරුවන් උසාවියට රැගෙන යන ක්‍රමවේදයන් පිළිබදව, කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධ කරගන්න විදිහ , ඔවුන්ගේ සුරැකුම් ආර්ථිකය ගැන බලලා තියෙනවා. සියලු ජනතාව ගැන  හිතලා තමයි අපි අධ්‍යාපනය, සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් වලට වැඩි මුදලක් වෙන් කරලා තියෙන්නේ.

ඖෂධ වලට බදු එකතු කරල තියෙනවා කියලා දිගින් දිගටම කියනවා.මේවා ඔක්කොම බොරු. එහෙම එකක් එකතු කරල නෑ .ආනයනික ඖෂධ වලට කිසිම වැට් බද්දක් නෑ. දේශීය ඖෂධ නිෂ්පාදනයේදී පැකේජින් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වැට් එක අපි අයින් කරලා තියෙනවා.

මේ වසර තුළ අධ්‍යාපනයට යොදවලා තියෙන මුදල් ප්‍රමාණය වැඩිකරලා තියෙනවා. පූර්ව ළමා විය අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කරලා තියෙනවා.  විශේෂ ආබාධිත අයට දෙන අධ්‍යාපනය සඳහා විශේෂයෙන් නම් කරල ඒකට මුදල් වෙන් කරලා තියෙනවා ඉතින් මොනවද මේ කතා කරන්නේ මේ තියෙන්නේ අපි සමාජය ශක්තිමත් කරන්න, ආරක්ෂණය කරන්න  තියෙන වැඩපිළිවෙල. සාමූහිකත්වය කියන එක මේ අයවැය තුළ ඇති කරලා තියෙනවා. ජාතික සමඟිය ඇති කරලා තියෙනවා.

 ශ්‍රී ලාංකික දිනය කියන එක නම් කර එයට මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. ඔබ ජාතික වශයෙන් සමරන බොහෝ දින යම්කිසි කණ්ඩායමකට පමණක් සීමා වෙනවා. ඒ නිසා අපි පළමු වතාවට යෝජනා කරනවා ශ්‍රී ලාංකික සියලු දෙනාටම තමන්ගේ විවිධත්ව තියාගෙන ඒ විවිධත්වය තුළින් මේ රට ලස්සන වෙන්නේ කොහොමද කියන එක, මේ රට ගැන ආඩම්බර වෙන්නේ කොහොමද කියන එක ගැන තහවුරු කරන්න අවස්ථාවක් සලසා ගැනීමට. පළවෙනි වතාවට සියලු දෙනාටම කාවවත් අතහරින් නැතුව පුරවැසියන් හැටියට සහභාගී වෙන්න පුළුවන් “Sri Lankan Day”  කියලා එකක් අපි යෝජනා කරලා තියෙන්නේ ඒ නිසායි.

මේ අයවැයේ හැම පිටුවකම හැම වචනයකම පෙන්නුම් කරනවා කොහොමද අපි සාමූහිකත්වය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ කියලා. අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේත් ජනතාවගේ සහයෝගය වර්ධනය කරන්න , පරිවර්තනීය වෙනස සිද්ධ කරන්න ඔවුන්වත් මැදිහත් කරගන්න පියවර අරන් තියෙනවා.  එය නොවෙයිද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මැතිවරණයකට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන එක විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය. එතනට සීමා වෙච්ච ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අපි පුළුල් කරලා තියෙනවා.

අපි මේ රට භාරගද්දී අපිට තෝරා ගැනීම් දෙකක් තිබ්බා එකක් බයවෙලා අකුලගෙබ මේ තියෙන එක විතරක් ආරක්ෂා කරගනිමින් කරගෙන යනවාද, නැත්නම් මේ අර්බුදයන් අවස්ථාවක් හැටියට අරගෙන මේ රට ගැඹුරු පරිවර්තනයකට ගෙනයාමට අපි නිර්භීත වෙනවද නැද්ද කියන එක. අපි තෝරගත්තේ දෙවැනි ක්‍රමය, ඒ නිර්භීත තෝරා ගැනීම අපි ගත්තේ මොන බාධක, අභියෝග තිබ්බත් අපි මේ රට අවුරුදු හැත්ත ගාණක් තිස්සේ ඇදගෙන ආපු විදිහට නෙමෙයි ගෙනියන්නේ, මේ රට පරිවර්තනය කරනවා කියන අධිෂ්ඨානයත් එක්ක. ඒ අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ පළවෙනි අයවැය තමයි මෙය. මේ තුළ අපි කරන්න පුළුවන් උපරිමය කරලා තියෙනවා. අපි කැමතියි සමාජ ආරක්ෂණය වෙනුවෙන් තව මුදල් වෙන් කරන්න.  හැබැයි සීමාවන් තුළ අපි මේක කරලා තියෙන්නේ. නමුත් මේ සීමාව තුළ වුණත් අපි යන්න තියෙන දිශානතිය හොඳින් පෙන්නුම් කරලා තියෙනවා කියලා මට විශ්වාසයි.

තව චෝදනාවක් එනවා අපේ බලවේග වලට අපි සාධාරණයක් ඉටු කරලා නෑ කියලා. මේ සියලු දෙනාත් හොඳින්  දන්නවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මේ සියලුම කරුණු අඩංගුයි. අපි සියල්ල කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ කතාව අහනකොට පුදුම ආඩම්බරයක් මට දැනුනේ.  අපි අවුරුදු ගණනාවක් තිස්සේ කතා කළ කරුණු දැන් අපේ මංගල අයවැය තුළ ක්‍රියාත්මක වෙන්න යනකොට අපිට පුදුම සතුටක් දැනුනේ.

එක මන්ත්‍රීවරයෙක් තව බොරු කතාවක් කියනවා පඩි වැඩි කරලා නෑ කියලා. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න අපි පොරොන්දු වෙලා තියෙනවා. මේ යෝජනා කරල තියෙන පඩි වැඩිවීමත් සමග  විදුහත්පතිවරුන් වැඩිම වැටුප් ලබන්නන් අතරින් 7 වෙනි තැනත්, ගුරුවරුන් 8 වෙනි තැනත් ඉන්නවා. රාජ්‍ය සේවයේ වැඩිම වැටුප් 10 අතරට ගෙනැත් තියෙන්නේ.

විදුහල්පතිවරුන්ගේ  30,105/= කින් වැඩි වෙලා තියෙනවා. ගුරුවරයෙක්ගේ වැටුප 25,360/= කින් වැඩි වෙලා තියෙනවා.  අවම වැටුප 15,750/= වැඩි වෙලා තිබෙනවා.

පඩි වැඩිවීම බැරෑරුම් ලෙස බාරගන්න අවශ්‍ය දෙයක්. අපේ ප්‍රතිපත්ති තුළ, අපේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුල රාජ්‍ය සේවයට අපි ගරුත්වයක් දෙනවා. පෙර ආණ්ඩු මොනවාද කලේ, රාජ්‍ය සේවය විනාෂ කලා විතරක් නෙවෙයි එය අත්තනෝමතිකව බදවා ගැනීම් කරලා විශාල අවුල් කලා. රාජ්‍ය සේවය පිළිබද, රාජ්‍ය සේවකයින්ට තිබ්බ විස්වාශයත් නැති කලා. සමාජය තුල රාජ්‍ය සේවය පිළිබද ඉතාමත් සෘනාත්මක අදහස් ගොඩනැගුවා.

ශක්තිමත්, විශ්වසනීය, ජනතාවාදී රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ ආයෝජනය කරන්නේ. ඒ වෙනුවෙන් තමයි ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ වුවත් මූලික වැටුප වැඩි කරන්න මැදිහත් වෙලා තිබෙන්නේ. එය අපි ක්‍රමාණුකූලව කරගෙන යනවා. සීමාවන් ගොඩක් එක්ක අපි වැඩ කරන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු මොනවා කිව්වත් ජනතාව මෙය තේරුම් අරන් තිබෙන්නේ. ජනතාව සමගයි අපි මේක කරගෙන යන්නේ. ජනතාවගේ විශ්වාසය තිබෙන බව අපි දන්නවා.

මේක ඓතිහාසික අය වැයක්. මේ රටේ හැරවුම් ලක්ෂයක් සළකුණු කරන අය වැයක්. අපි 1977 ගැන කතා කරනවා. මෙතන රොනි ද මෙල් මුදල් ඇමතිතුමා ගැන ගොඩාක් කතා කලා. ඒ අය වැයත් මේ රට වෙනස් කලා. එකගද නැද්ද කියන එක ගැන දේශපාලන විවේචන තිබුණත් මේ රට තීරණාත්මක ලෙස වසර 30, 40 කට වෙනස් කලා. ඒ හා සමාන වැදගත්කමක් තිබෙන අය වැයක් මේ ඉදිරිපත් කර තිබෙන්නේ. මේ රටේ දිශානතිය වෙනස් කරන, මේ රටේ චින්නය වෙනස් කරන, මේ රටේ සමාජය සන්විධානය වෙලා තිබෙන, මේ රටේ ව්‍යුහයන් වෙනස් කරන තරම් වැදගත් බරපතල අයවැයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ දිශානතියයි අපි මේ පෙන්නන්නේ. මේක අපේ පළමු අය වැය. අපිට යන්න තව බොහෝ දුරක් තිබෙනවා. හැබැයි වැදගත් වෙන්නේ පළමු අය වැය තුළින්ම අපි සළකුණු කරලා තිබෙනවා අපි හදන්න යන රට කුමක්ද කියලා.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක අපි අර්ථකතනය කරලා විතරක් නෙවෙයි එයට ජීවයක් ලබා දී තිබෙනවා.

පෙර ආණ්ඩු මොනවාද කලේ. කාන්තා ළමා අයිතිවාසිකම් සුරකින්න පනත් ගෙනැත් තිබෙනවා. පනත් හොදයි. හැබැයි පනත් වලට, ප්‍රතිපත්තිවලට සීමා වෙලා කාන්තා ළමා අයිතිවාසිකම් හම්බෙන්නෙත් නැහැ.ව්‍යුහය තුළ, අමාත්‍යාංශය තුළ වැඩසටහන්වලට මුදල් වෙන් කර තිබෙන ක්‍රමය අනුව තමයි අර්ථවත් වෙන්නේ. ඒක අපේ අය වැය තුල කරලා තිබෙනවා.අපි මෙතන ප්‍රතිපත්තියක්, පනතක් හදන්න සීමා වෙලා නැහැ. ඇත්තටම මිනිස්සුන්ට දැනෙන තැන් වලට මුදල් වෙන් කරලා තිබෙනවා. සාධාරණත්වය, සමානාත්මතාවය,සාමූහිකත්වය, මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ මුලු රටම හරවන අය වැයක් බවට පත් වෙලා තිබෙන්නේ.

පුවත්

‘ඉනිය භාරතී’ අත්අඩංගුවට

Published

on

By

හිටපු නැගෙනහිර පළාත් සභා මන්‍ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් ‘ඉනිය භාරතී’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්‍ අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ  සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

කලක් LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ඉනිය භාරතී පසුව කරුණා අම්මාන් සමග LTTE සංවිධානය අතහැර පැමිණි අයෙකු වේ.

මේ අතර 2005 සහ 2009 අතර කාලය තුළ තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ‘ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම විශේෂත්වයකි.

Continue Reading

පුවත්

ටිරාන්ට මරණ තර්ජන

Published

on

By

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඊයේ (05)  ඩුබායි හි සිට පාතාල නායකයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මේ මරණීය තර්ජන එල්ල කර ඇති බව පැවසේ.

ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින සියළුම පාතාල නායකයින් හා පාතාල සාමාජිකයින් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට මේ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් විශේෂ අංශ දැනුවත් කර ඇති අතර මරණීය තර්ජනය පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පැවසේ.

Continue Reading

පුවත්

කතානායක චෝදනාවලට උත්තර බදියි

Published

on

By

කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව කතානායක කාර්යාලය පවසයි.

කතානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා හෝ භාවිත නොකරන බවත් කතානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ කතානායක කාර්යාලයේදී පවත්වන බවත් සදහන් කරයි

එම කාර්යාලය මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුව සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කතානායකවරයාගේම යෝජනාවකට අනුව කතානායකවරයාට ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලදී. ඒ අනුව වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා සිටියි. තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්,සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමිවේ.

තවද, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන් ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි. කථානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබයි. එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved