Connect with us

පුවත්

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය

Published

on

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා  මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  හා ලෝක බැංකු නියෝජිතයන්  අතර ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති හමුවේදී  ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා මේ බව කියා සිටියේය.

තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා , ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා දීමට මෙහිදී එකඟතාව පළ විය.

ඒ අනුව අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ  නව ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත ණය ආධාර  නියමිත දිනට ලබා දීමට කටයුතු කරන බවද  මාර්ටින් රේසර් (Martin Raiser) මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන්  ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවය.

ඒ සඳහා නව රජය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහාද අවශ්‍ය ආධාර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 28%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කළත්, ශ්‍රී ලංකා ආර්ථිකයට  කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබා දෙන දායකත්වය  දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් පමණක් වීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය අනුව ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක බැංකු නියෝජිතයින්ට පැහැදිලි කළේය.

තරුණ ප්‍රජාව සඳහා රැකියා උත්පාදනය සම්බන්ධයෙන් රජය සතු වැඩපිළිවෙළ පිළිබඳවද  මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, 2025 වසරේදී මෙරටට වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

ගුවන්තොටුපළ හා වරාය සංවර්ධනය සඳහා නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් වරාය සංවර්ධනය කිරීම කඩිනමින් සිදු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම උතුරු සංවර්ධනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවත් උතුරේ ආයෝජන කලාප තුනක් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

උතුරේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, ජල පහසුකම් ලබාදීම, උතුරේ ජනතාවගේ සමාජ ප්‍රශ්නවලට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින් විසඳුම් සෙවීමටද කටයුතු කරන බව  ජනාධිපති අනුර කුමාර දිසා නායක මහතා සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ලෝක බැංකුවේ කලාපීය දේශීය අධ්‍යක්ෂ (නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව) ඩේවිඩ් සිස්ලන්  (David Sislen), ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) (ශ්‍රී  ලංකාව සහ මාලදිවයින) දේශීය කළමනාකාර ගෙවෝර්ග් සාර්ග්ස්යන් (Gevorg Sargsyan), උප සභාපතිගේ විශේෂ සහකාර කිෂාන් අබේගුණවර්ධන  යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved