Connect with us

පුවත්

රට හාල් එද්දී නත්තල ඉවරයි

Published

on

රජයේ මැදිහත් වීමෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති සහල් තොග මෙරටට ලැබෙන විට නත්තල් සමයද පසුවනු ඇති බව ආහාර ආනයනකරුවෝ පවසති. 

ආනයනය කිරීමට තමන්ට අවස්ථාව දෙන්නේ නම් සති දෙකකට අඩු කාලයකදී සහල් තොග මෙරටට ගෙන ආ හැකි බවද ඔවුහු කියා සිටිති.

සහල් ආනයනය සඳහා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට අවස්ථාව දෙන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇතත් ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද පැවසේ. 

මේ හේතුව මත පිටකොටුව ඇතුළු සහල් වෙළෙඳපොළේ උග්‍ර සහල් හිඟයක් පවතින බව ද අනාවරණය වේ. 

සහල් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය දුන්නේය. 

සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ජාත්‍යන්තර ලංසු කැඳවා මෙම සහල් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

කෙසේ නමුත් මෙම සහල් තොගවලට අදාළ සාම්පල මෙරටට ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි අනාවරණය වේ. 

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක තොගය මෙරටට ලැබීමේදී දෙසැම්බර් මස අග වනු ඇතැයි පැවැසේ. 

මේ නිසා උත්සව සමයේ දී සහල් හිඟය වඩාත් උත්සන්න වීමේ අවදානමක් පවතී.

මහ කන්නයේ වී අස්වනු ලබන වසරේ (2025) ජනවාරි මාසයේ මැද සිට නෙළීමට නියමිත අතර එම කාලය තුළදී ආනයනික සහල් තොග බෙදාහැරීම නිසා වී මිල අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීහු කියා සිටිති. 

සෑම වසරකම මහ කන්නයේ අස්වනු නෙළීමේ දී සහල් ආනයනය කරන බවත්, මහා පරිමාණ වී මෝල් හිමියන් මහ කන්නයේ වී තොග අඩු මිලකට සූරාකන බවත් ගොවීහු පවසති. 

කෙසේ නමුත් අධික වැසි තත්ත්වය නිසා කුඹුරුවලට සිදුවී තිබෙන හානි හේතුවෙන් මහ කන්නයේ වී අස්වනු අඩුවීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අංශ සඳහන් කරයි. 

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පසුගියදා කියා සිටියේ වැසි තත්ත්වය හේතුවෙන් කුඹුරු අක්කර 5000කට පමණ හානි සිදුවී තිබෙන බවය.

මේ අතර අධික වැසි තත්ත්වයත් සමග ප්‍රධාන වශයෙන් වී වගා කරන ලද දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යටවී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කුඹුරු ඉඩම්වලින් සියයට 90ක් ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත කුඹුරු ඉඩම්වලින් සියයට 75ක් ද ජලයෙන් යටවී තිබේ. 

වව්නියාව, යාපනය ආදී දිස්ත්‍රික්කවල සම්පූර්ණයෙන්ම කුඹුරු ඉඩම් ජලයෙන් යටවී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ අබේරත්න පැවැසීය.

ජලය බැස යන තුරු මහ කන්නයේ වී වගා කරන ලද කුඹුරුවලින් කොපමණ ප්‍රමාණයකට හානි වී ඇත්දැයි තක්සේරු කිරීමට නොහැකි බව ද ඔහු කීවේය. 

පසුගිය දින කීපය තුළ වී වපුරන ලද කුඹුරු ජල ගැල්මෙන් හානියට පත්වන බවත්, ඊට හේතුව අධික ජලය නිසා බිත්තර වී කුණුවීම බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

(අරුණ)

කැබිනට් තීරණ

ඌරන්ට කාර්ය සාධක බලකායක්

Published

on

By

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ දී අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර පසුව එය සෙසු පළාත්වලට ව්‍යාප්ත වුණි.

මෙම රෝගය හේතුවෙන් ආසාදිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී.

මේ වනවිට වාර්තා වී ඇති දත්ත අනුව සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර, ඌරන් 61,695ක් මරණයට පත්ව ඇත.

එමෙන්ම මෙම රෝගය වනාන්තර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදනය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

මේ වනවිටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරස පරිසරය තුළ සංසරණය වීම හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයට පත්ව ඇතැයි රජය සඳහන් කරයි.

එබැවින් සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිලේක ලේකම්ගේ සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ නියෝජනයෙන් සමන්විතව කාර්ය සාධක බළකායක් පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

පුවත්

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

Published

on

By

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද දින නියම කළේ ය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු ම 29 වනදා කැඳවීමට දින නියම කළේ ය.

2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ  විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පහක් ගොනු කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved