Connect with us

පුවත්

රනිල්ට අපරාධ චෝදනාවක්

Published

on

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි.

එම පක්ෂයේ නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු, # ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක් යනුවෙන් ශීර්ෂපාඨ සහිතව ලියා දක්වා ඇති එම ලිපිය තුළින් සිදුවීම් ගණනාවක් පිළිබඳ කරුණු දක්වා තිබේ.

අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි  උපේක්ෂාවෙන් බලා සිටින බවය.

එමෙන්ම තමා විසින් අපතේ දැමූ ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

– උපුටාගැනීම – 

මීට මාස 22කට පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කොට නවයෝජනා කැඳවීමටද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. විකෘතිය, ප්‍රකෘතිය බවට පත් කිරීමේ මේ තීරණයට සියලුම දේශපාලන පක්ෂවල ද පුරවැසියන්ගේ ද ආශිර්වාදය හිමිවනවා නොඅනුමානය. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශූන්‍ය භාවය වසා ගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතව, 2023 ජනවාරි අග සතියේදී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන්, පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට වියදම් කොට ඇති රුපියල් කෝටි හැත්තෑ දෙකකට (720,000,000/=) වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට තිබුණි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තු ගත කරන ලද මුළු පිරිවැය, රුපියල් බිලියන 8 කි (8,000,000,000/=). ඒ අනුව, කිසිදු සාධාරණ  හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් 10% ක් බව නිරවුල්ය. තවද මෙම අසීමිත ධනය, පාලකයන් තම වතු ආදායමින්  උපයාගත් ඒවා හෝ තම පවුලේ ගිණුම් වලින්  වෙන්කරගත් මුදල් නොව මහජනතාවගේ රීරි මාංශ සුරා උපයා ගත් බදු මුදල් බව ද අතාර්කිකය. පැහැදිලිය.

එසේම එදවස, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළ, මැතිවරණ කොමිසමට හා කොමසාරිස්වරුන්ට ගරහමින්, මැතිවරණ පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරන් අවමානයට පත් කරමින්, මැතිවරණ සඳහා භාණ්ඩාගාරයට මුදල් නැති බව පවසමින් නොනැවතී අවසානයේ, මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතැයි යනුවෙන් අශිෂ්ට ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සභා ගතකිරීමට තරම්, රාජ්‍ය නායකයා තමා දේශපාලන කවන්ධයක් බව තහවුරු කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම විගඩමක් ලෙසින් වුව ද සාහසික ව්‍යාකරණයන් සමගින් ඉතිහාසයේ සටහන්ව  අවසානය.

ජනාධිපතිවරයා, තම අප්‍රකාශිත දේශපාලන කාමය සංසිඳුවා ගැනීමේ වුවමනාවෙන්, මැතිවරණය  කල් දැමීමට තීරණය කරනු ලැබුවේ තැපැල් ඡන්ද විමසීමට ආසන්න මොහොතේදී වීම දේශපාලනිකව වඩාත් සාහසිකය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් කළ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස මැතිවරණ කල් දැමීම, සාමූහික දුෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන ගබ්සාවක් වන්නා සේම මුල්‍යමය වශයෙන් ගත් කළ මෙය, මහ දවල් කරනු ලැබූ ආර්ථික ඝාතනයක් බව දැන් මොනවට පැහැදිලි වේ.

රාජ්‍ය භාණ්ඩාගාරය සතු  බදු මුදල් වූ උක්ත කෝටි 72 ට අමතරව, නාම යෝජනා භාරදුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂක අපේක්‍ෂිකාවන් අසූදාස් හයසිය හැත්තෑ දෙදෙනෙකු (80,672) මැතිවරණය වෙනුවෙන් වියදම් කොට අපතේ යාමට නියමිත මුදල  මෙපමණකැයි කිසිවෙකුට තක්කරු කළ නොහැක. ඊට අමතරව, මේ පිරිස, ඔවුනගේ ඇප මුදල් වශයෙන්ම වසර දෙකක් පුරා තැන්පත් කොට ඇති මුදල පමණක් රුපියල් මිලියන එකසිය අසූවක්(රු. කෝටි 18ක්) වන අතර  එයම, මේ ආර්ථික ඝාතනයේ විසකුරු ස්වරූපය මැන ගතහැකි පර්යේෂණීය සාක්ෂියකි.
එබැවින්, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙය ඇතුළත් කළයුතු අතර ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති  දේශපාලන වරප්‍රසාද නොසලකා වග උත්තරකරුවන්ට දැඩිදඬුවම් ලබාදිය යුතුය.

රාජ්‍ය බදු මුදල් ගෙවා ගත නොහැකිව, ණය පොලී ගෙවා ගත නොහැකිව, දරුවන් පාසල් යැවීමට නොහැකිව, විදුලි බිල ගෙවා ගත නොහැකිව, දහස් සංඛ්‍යාත පුරවැසියන් දිවි නසා ගන්නා රටක මේ සා විශාල මහජන ධනස්කන්ධයක්, හපකොට දැමූ දේශපාලන  පිශාචයන් දණ්ඩනයට කැප කිරීම සමාජ යුතුකමක් හා වගකීමක්  නොවන්නේද.?
එම නිසා, අපයෝජනය කළ මෙම කෝටි 72 ක මහජන ධනය, මීට වසර දෙකකට පෙර අදාල තීන්දුව ගත් පාලකයන්ගෙන් අයකරගන්නා ලෙස ඉල්ලා පුරවැසියන් ලෙස අපි  අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ  වීමට අපේක්ෂා කරන්නෙමු. ඊට අමතරව, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි  උපේක්ෂාවෙන් බලා සිටින අතර නව මැතිවරණය සඳහා දින නියම වීමට සමාන්තරව ම මිලියන විසි දෙකක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටු වෙනු ඇතැයි යන්න බදු ගෙවන ජනතා අපේක්ෂාව බවද දැනුම් දිය යුතුව තිබේ.

ඒ සියල්ලටම පෙර,  තමා විසින් අපතේ දැමූ මෙම ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද ගෞරවයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.

– උපුටාගැනීම අවසන් – 

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved