Connect with us

පුවත්

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා වුන දේ ගැන ජනපති කියයි

Published

on

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද,  ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදු වූ විනාශය අතිමහත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අද (22) පස්වරුවේ පැවති දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක් වෙමිනි.

ශක්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සේනානායක උරුමය ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති ආරාමාධිපති  ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධර්ම ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවයි. ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාර වලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා  සඳහන් කළේ ය.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ දැක්ම වුයේ ද නිදහස් ආර්ථිකයක් ඇති කිරීම බව  සිහිපත් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සිදුකළ යුත්තේ පෞද්ගලික අංශයෙන් බවත්,  එයින් ලබා ගන්නා බදු ආදායමින් රට සංවර්ධනය කළයුතු බව එතුමාගේ දර්ශනය වූ බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි  සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රෝහිත බෝගොල්ලාගම, කරුණාසේන කොඩිතුවක්කු, රුක්මන් සේනානායක, කොළඹ  හිටපු පුරපති රෝසි සේනානායක,  එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි, හිටපු පළාත් සභා මන්ත්‍රී  ශාන්තිනි කෝන්ගහගේ, යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ යන  මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට යාමේදී ගාලුමුවදොර උණුසුම් තත්ත්වයක්

Published

on

By

කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ඊයේ (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ සෞඛ්‍ය ආරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසර ඇතිව වෙළෙඳ කටයුතු කිරීම අරමුණු කරගෙන ගාලු මුවදොර වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමගිනි.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ කලක පටන් වෙළෙඳාමේ නිරතවන පිරිස් එම තීරණයට විරෝධය පළ කෙරුණි.

එම ස්ථානය සඳහා වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අද පස්වරුවේ පැමිණියේ පොලිස් නිලධාරීන් ද සමඟිනි.

මෙහිදී වෙළෙඳුන් පැවසුවේ කාලයක පටන් මෙම ස්ථානයේ වෙළෙඳාම් සිදුකරනු නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතික ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවය.

කෙසේ වෙතත් ඇතිවූ තත්ත්වය මත වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් වෙළෙඳුන් වෙත දන්වා සිටියේ එළැඹෙන ඉරිදා දක්වා වෙළෙඳාම් කිරීමට අදාළ වෙළෙඳුන්ට අවසර දෙන බවයි.

Continue Reading

පුවත්

හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්ගේ සමීපතමයෝ 3ක් අත්අඩංගුවට

Published

on

By

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අනුව හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ සමීපතමයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දේශපාලන බලය යොදා අල්ලා ගන්නා ලද මේ ඉඩම් භුක්ති විඳීම සිදු වූ අතර, ඊට හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ගිය පරීක්ෂණ මත එහි ප්‍රධාන සැකකරුවන් ලෙස මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවකද සිටින අතර, එක් අයකු අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.

(සිළුමිණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved