Connect with us

පුවත්

රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීමට කටයුතු කරන බව ජනපති කියයි

Published

on

ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක්  බවට පත් වීමට  බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “අනුබුදු දහමින් ලොවම නිවේවා”  තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී  අද (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගකීම ඉටු කළ හැක්කේ  මහ පොළොව සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවතින පුරවැසියන්ට මිස පොළොවට උඩින් පාවෙන මිනිසුන්ට නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා අනුරාධපුර නගරය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ  බවත්, සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිශ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නගරය, ප්‍රථම වැව, පළමු සැත්කම කළ ස්ථානය, යෝධ ඇල  වැනි උරුමයන් සහිත අනුරාධපුරය යළි පැරණි උරුමය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්ය රජය සිදු කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එම ප්‍රතිනිර්මාණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ සිදු කිරීමට ඉන්දීය අගමැතිවරයා මේ වන විටත් කැමැත්ත පළ කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“ඕනෑම ජාතියකට නැගී සිටීමට ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. එවැනි ශක්තිමත් අත්තිවාරමක් ශ්‍රී ලාංකේය ජනතාවට බුද්ධ දර්ශනය මගින් ලැබී තිබෙනවා. අධ්‍යාපනය වියළුණු සමාජයක ශක්තිමත් පුරවැසියන් බලාපොරොත්තු වන්න බැහැ. වසර දෙදහකට අධික කාලයකට පෙර මේ රටට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළේ බුදු දහමයි. පන්සල් පිරිවෙන් බවට පත් කරමින් මේ රටේ ජනතාවට අධ්‍යාත්මික මෙන්ම දැනුම ලබාදීමේ සමාජ මෙහෙවර ඉටු කිරීමට බුදු දහම විශාල කාර්යයක් කළා. ශිෂ්ට සම්පන්න සමාජ යාන්ත්‍රණයක් ඇතිවීම එමඟින් සිදු වුණා. ඒ සඳහා වසර  2500ක ඉතිහාසයේ මේ රටේ වැඩ සිටී මහා යතිවරයාණන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.”

“නමුත් මේ වනවිට එම සමාජ යාන්ත්‍රණය  බිඳවැටී තිබෙනවා. පොලිසියේ ඇතැමුන්  අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්වෙලා. පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා.  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා. මේ ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවෙයි. එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින්  මඟපෙන්වීමක් ලබා ගත හැකියි.”

ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප මේ රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරනවා. එම කාර්ය  අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍යයි. මේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුයි.

වසර දෙකක කාලයක් ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නොහැකි වූ අතර ඒ සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගෙන ජාතික පොසොන් උත්සවය මිහින්තලයේදී පැවැත්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තුතිය පළ කරන ලදී.

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved