Connect with us

පුවත්

රාජ්‍ය ආයතන 2කට පඩි ගෙවන්න පෑලියගොඩ ඉඩමක් විකුණයි!

Published

on

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් රුපියල් බිලියන 10කට පමණ විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කලුපහන මහතා කියයි.

ඒ් එම  සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප්, හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා බවද ඔහු කියා සිටී.

මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇත්තේ  පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන ඉහළ නාගරික වටිනාකමකින් යුත් අක්කර 17 රූට් 2 පර්චස් 17 ක වපසරියකින් යුක්ත ඉඩමක් බවද සභාපති වරයා පවසයි.

ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන් හට මැයි මාසයට හිමි වැටුපෙන් රුපියල් හත්දහසක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන සේවක විරෝධය සම්බන්ධයෙන් කළ විමසීමකදී සභාපතිවරයා මේ බව සදහන් කර තිබේ.

රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු අඩපණව පැවතීම නිසා ආයතනය වෙත ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බවත් ලබා ගැනීමට හැකිවූ මුදලින් මේ ආකාරයට වැටුපෙන් කොටසක් ගෙවීමට පියවර ගත් බවත් ඔහු කියා සිටී.

සිය කැමැත්තෙන්ම විශ්‍රාම යාමට සූදානමින් සිටින සේවකයන් 1100 කට ගෙවීම සඳහා පමණක් රුපියල් මිලියන 2600 ක් පමණ අවශ්‍ය වන බවද සභාපතිවරයා කීය.

ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ මහා පරිමාණයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුවීම සහ යහපාලන ආණ්ඩුව කාලයේදී සීමාව ඉක්මවූ සේවකයන් පිරිසක් බඳවාගෙන තිබීමද මෙම ආයතන පවත්වාගෙන යාමට ඇතිවී තිබෙන ගැටලු බවද හෙතෙම සඳහන් කළේය.

නීතිඥ රත්නසිරි කලුපහන මහතා මාධ්‍ය වෙත වැඩි දුරටත් මෙසේද පවසා ඇත.

‘‘අපි අවස්ථා ගණනාවකදීම ආයතනය භාර අමාත්‍යවරුන්ට සහ මුදල් අමාත්‍යාංශයට පෙන්වා දුන්නා පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවීම ඉතාම අපහසු බව. වැටුප් පමණක් නොවෙයි වසර දෙකකින් සේවක ඊපීඑෆ් සහ ඊටීඑෆ් දීමනා පවා ගෙවා නැහැ.

මේ තත්ත්වය මත අපේ ආයතනයේ 1100 ක සේවක පිරිසක් ස්ව කැමැත්තෙන්ම ඉල්ලා අස්වීමට සිටින නිසා ඒ අයට වන්දි ලබා දෙන ලෙස අපි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළා. නමුත් අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු මහා භාණ්ඩාගාරය අපට දැනුම් දුන්නා අපේ ආයතනය සතු යම්කිසි සම්පතක් තියෙනවා නම් ඒක විකුණලා වන්දි ගෙවීම සිදු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැති බවත් අපට දන්වා සිටියා.

ඒ අනුව අපි අපේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මගින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා දැම්මා අපේ ආයතනයට අයත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට යාබදව පිහිටි වටිනා ඉඩම විකුණලා ඉංජිනේරු සංස්ථාවේ පවතින මේ මහා ණය කන්දරාව සහ සේවක විශ්‍රාම වන්දි මුදල් ගෙවන්න.

මේ ඉඩමේ වර්තමාන වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තිබෙනවා රුපියල් බිලියන 9 ත් 10 ත් අතර ප්‍රමාණයක්. මේ ඉඩම කොළඹ නාගරික ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා ඉඩමක්. මෙහි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී ඉදි කරමින් තිබුණු දෙමහල් ගොඩනැගිල්ලකුත් තිබෙනවා. නමුත් පසුගිය යහපාලන රජය සමයේදී එහි ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම නිසා දැන් විනාශයට පත් වෙලා තිබෙනවා. එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ඉදි කර තිබුණා නම් මේ ඉඩමේ වටිනාකම තවත් ඉහළ යන්න තිබුණා.

අපි මේ සඳහා දාපු කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමත කළත් වර්තමානයේ සිටින ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව අපට දන්වා සිටියා. මේ තත්ත්වය අපට විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. මේ සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ මැදිහත් වීමෙන් පසුව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ආයතනය මුදල් අමාත්‍යාංශය වෙත පවරා ගත්තා. එය ඉදිරි කටයුතු සඳහා ඉතාම පහසුවක් වේව්.’’

උද්ගතව පවතින මෙම ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීම සඳහා අද (19) දිනයේ වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරින් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද නීතිඥ කලුපහන මහතා කියා සිටී.

මූලාශ්‍රය – අරුණ

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved