තායිලන්තයේ රැකියා ලබාදෙන බවට රවටා රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් 52 දෙනකු තායිලන්තයේ මියන්මාර දේශසීමාවේ පාලනය කරන ත්‍රස්ත කල්ලියක් වෙත සයිබර් අපරාධ සඳහා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම ශ්‍රී ලාංකික තරුණයන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙලෙස විදෙස් ගත කර තිබෙන අතර ඔවුන්ව ත්‍රස්ත කල්ලිය වෙත ඇමරිකන් ඩොලර් 5000 ක මුදලකට අලෙවි කර ඇත්තේද මෙම ශ්‍රී ලාංකිකයන් විසිනි.
මෙම ශ්‍රී ලාංකික පිරිස් පසුගිය වසරේදී තායිලන්තයේ සුපිරි වෙළඳසැල්වල රැකියා සඳහා යොදවන බව කියමින් තායිලන්තයට රැගෙන ගොස් ඇති අතර පසුව ඔවුන්ව මෙම ත්‍රස්ත කල්ලිය වෙත භාර දී ඇත.
තරුණයන්ට කාන්තාවන්ගේ නම් වලින් සහ තරුණියන්ට පිරිමි පුද්ගලයන්ගේ නම් වලින් ව්‍යාජ ෆේස්බුක්, ටික්ටොක්, ගිණුම් සකස් කර දී ඇමරිකාව, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඇතුළු රටවල මුලාකරමින් ඔන්ලයින් ව්‍යාපාර සඳහා එක්කර ගැනීම රැකියාව වී ඇත.
එක් අයෙකු පැය නවයකට පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ කර නොගන්නේ නම් ආහාර නොමැතිව අමානුෂික පහරදීම් සිදුකර තිබෙන බවත් හෙළිවී ඇත.
ඒ බව හෙළිව ඇත්තේ මෙම ත්‍රස්ත කල්ලියෙන් මිදී පලා ආ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පස් දෙනෙකු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහායෙන් දිවි බේරාගැනීමත් සමගය.
මෙලෙස ත්‍රස්ත ග්‍රහණයට ලක්වූ තරුණියන් 04 ක් සහ තරුණයෙක් මෙම කල්ලියෙන් පැනගොස් තිබෙන බවත් ඔවුන්ව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් දක්වා මාස හයක කාලයක් කෘෘර වදහිංසා පමුණවා සයිබර් බහාලුම් ලෙස තබාගෙන ඇති බවත් ඇතැමුන්ට දින තුනක් මුළුල්ලේ විදුලි සර වද්දවා ඇති බවත් දිවි බේරාගත් ශ්‍රී ලාංකිකයෝ පවසති.
මෙලෙස ශ්‍රී ලාංකිකයන් සයිබර් ත්‍රස්ත කල්ලි සඳහා අලෙවි කළ පුද්ගලයන් තවමත් මෙවැනිම ආකාරයෙන් තරුණ තරුණියන් රවටා මෙම කල්ලිය හා සම්බන්ධ වී ශ්‍රී ලාංකිකයන් අලෙවි කරන බවටද ඔවුහු චෝදනා කර සිටිති.
තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් තායිලන්ත ලාඕස් දේශසීමාවේදී ටජ්ලික් නම් ස්ථානයට ත්‍රස්තයන් විසින් රැගෙන යන අවස්ථාවේ ඔවුන් කැබ් රථය හා රියදුරු ග්‍රහණයට ගනිමින් පලාවිත් ඇත.
මූලාශ්‍රය – අරුණ