Connect with us

පුවත්

රේගුවේ වරායේ ටෙන්ඩර් පාතාල කල්ලි 3ක් රීසෙල් කරන සෙල්ලමක්

Published

on

රේගුවේ හා වරායේ රාජසන්තක කර වෙන්දේසි කරන භාණ්ඩ කන්ටේනර් රජයට කෝටි ගණනක් පාඩුකරමින් අඩු මිලට පාතාල කල්ලිවලට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබේ.

රේගුවේ හා වරායේ දූෂිත නිලධාරින් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු හා පාතාල සාමාජිකයන් පිරිසක් එක්ව මෙම වංචාව සිදුකරනු ලබන බව පැවසේ.

මෙවැනි වෙන්දේසියක් පෙරේදා (14) දිනයේදීත් කොළඹ වරායේදී
පනත්වා ඇතැයි පැවසේ.

කොළඹ වරායේ වෙන්දේසිවල බලය අල්ලා ඇති වරායට සම්බන්ධ ව්‍යාපාරිකයකු ඇතුළු කල්ලියක් මෙම වෙන්දේසියේදීත් අනෙක් ව්‍යාපාරිකයන් බියවද්දා ටෙන්ඩර් ගැනීමට සැලසුම් කර තිබේ.

කෙසෙල්වත්ත පාතාලය, මාලිගාවත්ත පාතාලය හා ඛෙත්තාරාම ප්‍රදේශය කේන්ද්‍ර කරගත් පාතාල කල්ලි තුනක ප්‍රබල චරිතද මෙම වෙන්දේසියට එක් වූ බව බුද්ධි අංශ තොරතුරු අනාවරණ කරගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධානම ව්‍යාපාරිකයා වෙන්දේසිය සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ ටෙන්ඩර් පත්‍රිකා තමාගේ ටෙන්ඩර් පත්‍රිකා පෙට්ටියට දමන ලෙස බලපෑම් කර ඇති බව අනාවරණ විය.

මෙදින ටයිල්, වාහන අමතර කොටස්, රෙදිපිළි ඇතුළු රාජසන්තක කළ කන්ටේනර් 52 ක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇත.

මෙරට මහා පරිමාණ සුදුලූනු වංචාවක් හා කුණු මාලු වරායෙන් පන්නා විකුණූ ජාවාරමකටද සම්බන්ධ ව්‍යාපාරිකයකු පාතාලය සමග එක්වී සියලු ටෙන්ඩර් තමා අතට ගැනීමට උත්සාහ කර ඇත.

මෙයාලා ටෙන්ඩර් එකට එන අයව බය කරලා ටෙන්ඩර් ෆෝම් ටික ඔක්කොම එයාලගේ පෙට්ටියට දා ගන්නවා. ඊට පස්සේ කස්ටම් එකේ ටෙන්ඩර් බොක්ස් එකට එයාලගේ පුරවපු ටෙන්ඩර් ෆෝම් විතරයි දාන්නේ. එතකොට කෝටියකට විකුණන්න පුළුවන් කන්ටේනරයකට මෙයාලා ලක්ෂ හතළිහක් විතර දාලා ගන්නවා. අරගෙන එයාලගේ බොක්ස් එකට ෆෝම් එක පුරවලා දාපු මුදලාලිලාට එතැනම විකුණනවා.

මෙයාලා සෙකන්ඩ් සේල් කියලා මේ මාෆියාව කරගෙන යන්නේ. එතකොට අර ව්‍යාපාරිකයා කෝටියකට කන්ටේනරය ගන්න දැම්ම නම් මෙයාලා ලක්ෂ හතළිහට අරන් ලක්ෂ හැටක්ම එතැනම ලාභ තියන් විකුණනවා.

වැට්, ටැක්ස් සියල්ල අඩු කරලා හැමෝටම ලාභ වෙන විදියට කරලා නිලධාරින්ටයි, පාතාලයටයි සියලු සල්ලි බෙදා ගන්නවා.’’ යැයි ටෙන්ඩරයට මුල් වූ අයකු මාධ්‍යට අනාවරණය කර තිබේ.

මෙහිදී එක් එක් ව්‍යාපාරිකයන්ට ටෙන්ඩර් පත්‍රිකා සමග ගෙවූ අත්තිකාරම් මුදල සමග ලක්ෂ පහ, දහය දීලා එයාලා ලාභ බෙදා ගන්නවා. සමහරු ණයට ලක්ෂ දහය, පහළව අරන් ඇවිත් ටෙන්ඩර් ෆෝම් දාලා එදාට බිස්නස් එක කරගෙන යනවා යැයි තවත් ව්‍යාපාරිකයකු පැවසීය.

විවිධ බලපෑම් කර මෙම ටෙන්ඩරයට එක් වූ ව්‍යාපාරිකයකු බිය වද්දා තිබුණද ඔහු තනිවම සටන් කිරීම නිසා ටයිල් කන්ටේනර් වෙන්දේසියේදී ජාවාරමුන්ට එය අඩු මිලට ගැනීමට නොහැකි වූ බව හෙළි විය.

එතැන ලක්ෂ 80 කට ටයිල් කන්ටේනරය උස්සන්න බායිලා සෙට් වුණා. එක්කෙනෙක් ෆයිට් කරලා සටන අත්හැරපු නැති නිසා ඒ කන්ටේනරය ලක්ෂ 380 කට ගියා. එහෙම නැති වුණා නම් එතැන කෝටි තුනම උන්ගේ සාක්කුවට වැටෙන්නේ. අනිත් කන්ටේනර් උන්ට ඕන විදියට බෙදාගත්තා යැයි වෙන්දේසියට එක්ව සිටි නිලධාරියකු මාධ්‍යට පවසා ඇත.

මෙහිදී වෙන්දේසියට මුවාව රජයට කරන කෝටි ගණනක වංචාව ඉහළ පෙළේ නිලධාරින් දැනුවත් කිරීමට පෙරේදා (14 වැනිදා) දිනයේම පියවර ගත් බව හෙතෙම පවසා තිබේ.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ආරක්ෂක අමාත්‍යාංශය වෙතද පැමිණිලි කිරීමට ඊයේ (15 වැනිදා) වන විට කටයුතු යොදා ඇත.

මෙම ජාවාරම කලක සිට රහසිගතව කරගෙන ගොස් ඇති අතර මාසිකව ටෙන්ඩර් කර ඇති බවද හෙළිව තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

නලීම් ගේ මන්ත්‍රී පුටුවට වසීත් නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්, පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එස්.එම්. නලීම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, වසීත් මහතා පත් කර ඇත්තේ එලෙස පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයටයි.

Continue Reading

පුවත්

කහවත්ත උණුසුම් : පොලිසිය හා ගම්වාසීන් ගැටෙයි

Published

on

By

කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත  සුරන්ජන  තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පිරිස විසුරුවීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය.

තුවාල ලැබූවන් අතර පොලිස් කාන්තාවක ඇතුළු තිදෙනකු ද එම ගම්මානයේ කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. ඔවුන් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල්ට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැමින් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඝාතනයට ලක් වූ තරුණයාගේ අවසන් කටයුතු කහවත්ත පලන්සූරයගම පවුලේ සුසාන භූමියේදී අද සවස සිදු කිරීමෙන් පසු එම කටයුතු අවසන් කර ආපසු නිවෙස් බලා යමින් සිටි ගැමියන් හා ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් කණ්ඩායමක් අතර ගැටුමක් නිර්මාන්‍ය වී ඇත. ගැමියන් චෝදනා කර ඇත්තේ ඝාතනයට පෙර මෙම සිද්ධියට මැදියත්වන ලෙස ඉල්ලීම් කළත් ඊට ප්‍රතිචාරයක් නොදැක් වූ පොලිසිය ඝාතයෙන් පසු පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැති බව චෝදනා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය හා ගැමියන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර  ගැමියන් පිරිසක් පොලිසියට ගල්මුල්වලින් පහරදී ඇත.

ඒ අවස්ථාවේ එම පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග කලහකාරීව හැසිරුණු පිරිස මෙම ඝාතනය සම්බන්ධයෙන් ගැමියන් විසින් චෝදනා කරන පුද්ගලයාගේ නිවෙසට දෙසට පා ගමින්  ගමන් කර ඇත.

එම පිරිසගේ ගමන නැවැත්වීමට ඒ අවස්ථවේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි කැරළිමර්ධන පොලිස් කණ්ඩායම් උත්සහා කර ඇති අතර ඒ අවස්ථාවේදී ද ගැමියන් හා පොලිසිය අතර යළි ගැටුමක් නිර්මාණය වී ඇත.

එම පිරිස ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රියකට ද ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධියත් සමග කලබල ලෙස හැසිරිරුණු පිරිස විසුරුවා හැරිම සඳහා පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. ඒ අවස්ථාවේ ගැමියන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

(ලංකාදීප)

Continue Reading

පුවත්

අපේක්ෂා රෝහලට නව පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්

Published

on

By

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

එහි දී සෞඛ්‍ය‍ හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  අදහස් දක්වමින්  රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවත් සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60  ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බවත් එය විශාල ගැටළුවක් බවත් සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාදයන් සිදුවන බවත් එය ද ඉතා කණගාටුදායක තත්වයක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටළු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි බවත්, මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන බව ද මෙහි දී පැවැසීය. මින් ඉදිරියට රජය අ‍ලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට  ද  කටයුතු කරන බව සඳහන් කළ ඇමතිවරයා  ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බව ද පැවසී  ය.

මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම්  35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයන බවත්, ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන ඇති බවත්, මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සදහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී සඳහන් කළේ ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරන බව ද පැවසී ය. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර  (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් එයින්  පිළිකා රෝගීන්ගේ   ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙන බව ද පැවසී ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරන බවත්, මේ සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරන බවත්, රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි  යම්  සංශෝධනයන්ට යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය. 

රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක්  වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල්  ළමා වාට්ටු  සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර  ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි  සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති  හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, යන මහත්ම මහත්මීන් ඇතුළුව  රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ.

(news.lk)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved