Connect with us

පුවත්

ලංකාවේ ප්‍රගතිය IMF පැසසුමට

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය.

එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා (Peter Breuer) සඳහන් කළේය. 

2022 දෙවන භාගයේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූ බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්හ.

උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී  අවධානය යොමු වූ බවත්,  මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද සඳහන් කෙරිණ. මෙරට විදේශ සංචිතවල ඉහළ යාම වැනි ධනාත්මක ප්‍රතිඵල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇත.  

විශේෂයෙන්ම ප්‍රාග්ධනය සහ යාන්ත්‍රණ ගොඩනැඟීම තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනයට දායක වී ඇති බවත් එය දැනට පවතින පාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ තුළ ධනාත්මක දර්ශකයන් ලෙස සටහන් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  එහි ඉදිරි විධිමත් සමාලෝචනය සහ 4 වැනි වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සිදු කිරීමට සැලසුම් කරන බැවින්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නීතිය සමඟ ඇති විය හැකි ගැටුම්, විදුලි ගාස්තු සහ දේපල බදු අය කිරීම යනාදිය ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ඇතුළත් වේ. 

පවතින ප්‍රතිසංස්කරණ, මූල්‍ය ගැටලු විසදා ගැනීම සහ පාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම පිළිබඳ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙහිදී අවධාරණය කළහ.

බැංකු පනත සඳහා සංශෝධන සිදු කිරීම සහ බැංකු ක්ෂේත්‍රය ප්‍රතිප්‍රාග්ධනය කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

පාලන යාන්ත්‍රණය පිළිබඳව ද අවධානය යොමු කරමින්, දූෂණ විරෝධී කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීම සහ  ඊට අදාළ  ක්‍රියාකාරී සැලසුම් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම එහි කොමසාරිස්වරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් සතු නිපුණතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්විය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක වන රාජ්‍ය සේවයේ ධාරිතාව ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළ කර ඇති අතර ඊට අදාළ සාකච්ඡා ඉදිරි සතිවලදී සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට රැඳී සිටින කාලය තුළ, මෙම ප්‍රධාන ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා සිදු කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ අභියෝග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කෙරිණි. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved