වැල්ලම්පිටිය වෙන්නවත්ත සිව්බල සේනා සංවිධානය විසින් ලොව විශාලතම හඳුන්කූර දැල්වීමේ “සිව්බල මහා සුවඳ දුම්පූජාව” මෙගොඩ කැලණියේ කිත්සිරි මෙවන් විහාරස්ථානයේ දී පසුගියදා ප්‍රදර්ශනය කෙරුණේ ය.
බුදුන්වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වූ කැලණියේ කිත්සිරි මෙවන් විහාරස්ථානයේ දී මෙම සුවද දුම් පූජාමය හඳුන්කූර දැල්වීම සිදු කෙරුණේ පන්දම් විලක්කු වලිනි.
මෙම සුවිශේෂ වූ හඳුන් කූරක දිග අඩි හැටක් වන අතර මෙහි බර කිලෝග්‍රෑම් සීයකට ආසන්න බවද වාර්තා වේ.
මාස අටක් නැත්නම් පුරා දින දෙසිය හතළිහයක් තුළ මෙම මහා හඳුන්කූර සකස් කිරීම සිදු කර තිබිණි.
මේ නිර්මාණය සිදු කළ අයුරු අභිසෙත් හඳුන්කූරු ආයතනයේ කළමනාකාරිණි කේ.දිළිණි පෙරේරා මහත් මිය මෙසේ කියා සිටියාය.
අඩි 60 ක් උස උණ ගසක් හොයාගෙන සෙවනේ වියලා පදම් කරගෙන බර අඩුකර ගත්තා. පසුව උණ ගසේ ඇතුළත සිදුරු කර මාස ගණනක් වියලන ලද ගොඩ දිය සුවඳ මල් 50 කට අධික ප්‍රමානයක් මෙම උණ ගසේ ඇතුළත තැන්පත් කළා. මේ සඳහා විවිධ සුවඳ සහිත පළතුරු පැළවල කොළ ඉති ආදි පස් පංගුව ද ඇතුළත් කර සකස් කළා. ලී කුඩු, කළු කුඩු සහ මෙම හඳුන්කූර සකස් කර ගන්නට අවශ්‍ය පදම හා තාක්ෂණයට සරිලන පරිදි පට්ට කුඩු, සෙවල ගස්වලින් සකස් කළ සෙවල, බෝබු ගසේ කොටස්ද සකස් කර විවිධ වර්ගයේ සුවඳ කුඩු කිලෝ පහකට අධික ප්‍රමාණයක්ද අප මෙම හඳුන්කූරට එක් කර සකස් කළා.
මෙයට අමතරව හඳුන් දර කුඩු, සුදු හඳුන් කුඩු,රත් හඳුන් කුඩු ආදි සුවඳ කුඩු සහිත ද්‍රව්‍යද එක් කර පැය ගණනාවක් දැල්වෙන පරිදි සැතැම්ම ගණනාවකට සුවඳ පැතිරෙන ආකාරයට මෙම හඳුන්කූර සකස් කර නිමාවට පත් කළා. විශාල පිරිසක් ඒ සඳහා එකට එක්ව කටයුතු කළ බවද ඇය කීවාය.
මෙය ලෝකයේ මෙතෙක් සකස් කරන ලද විශාලතම හඳුන් කූර ලෙස ඉතිහාසයට එක් වෙන බව සිව්බලසේනා සංවිධානයේ සභාපති පුජ්‍ය මෙටපිටියේ රතනසිරි හිමියන් පැවැසූහ.