Connect with us

පුවත්

ලෝක කම්කරු දිනය අදයි

Published

on

139 වැනි ලෝක කම්කරු දිනය අද (01)ට යෙදී තිබේ.

කම්කරු දිනය සැමරීම ආරම්භ වුණේ 1886 වර්ෂයේ දීය.

එදා 1886 මැයි පළමු වැනිදා තම කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන්ට එල්ල කර අසාධාරණ ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස බිහි වූ, ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් දිනය අදටත් ලොව සාමූහිකත්වයේ බලය විදහා දක්වන අග්‍ර ගණයේ සැමරුමක් ලෙස සැලැකේ.

ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ හතලිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත් විය.

මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධාන කළ මේ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්දනය කිරීමට පැමිණි පිරිස් හා කම්කරුවන් අතර ගැටුම් ඇතිවිය.

එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර, වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්විය.

රට පුරා අද රැලි 47ක් !

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති අද (01 වැනිදා) දිවයින පුරා මැයි දින රැලි 47ක් පැවැත්වීමට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන සැලසුම් කර තිබේ.

ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව පමණක් මෙවර මැයි දින රැලි සහ කම්කරු දින සැමරුම් උත්සව 19ක් පැවැත්වේ. 

ඉකුත් වසරේදී (2024) දිවයින පුරා මැයි දින රැලි 74ක් පැවතුණද මෙම වසරේදී ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් මැයි දින රැලි නොපැවැත්වීමට තීරණය කර තිබේ. 

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ද මෙවර කම්කරු දින සැමරුමක් සංවිධානය කර නොමැත.

මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය පළමු වරට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. 

මෙම රැලිය සඳහා දිවයිනේ සෑම ඡන්ද කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ලක්ෂ එක හමාරක පිරිසක් ගාලු මුවදොර පිටියට රැගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පක්ෂය විසින් ඉකුත් වසරේදී (2024) මැයි දින රැලිය පවත්වනු ලැබුවේ විහාරමහාදේවී උද්‍යානය අසල ඇති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී ය.

සමගි ජන බලවේගයේ සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි දින රැලි පවත්වනු ලබන්නේ තලවකැලේ ලිඳුල නගර සභා ක්‍රීඩාංගණයේදීය. 

ඉකුත් වසරේදී සමගි ජන බලවේගයේ මැයිදින රැලිය පැවතියේ කොළඹ කොටුවේදීය. 

මීට අමතරව සමගි ජන බලවේගය විසින් අනුරාධපුර පොලිස් ස්ථානය අසල වටරවුමේ ඉදිකර තිබෙන හිටපු අගමැති ඩී.එස්. සේනානායක පිළිරුව අසලදී ද කම්කරු දින සැමරීමක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැලිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීය. ඉකුත් වසරේදී එම රැලිය පැවැතියේ කොල්ලුපිටියේදීය.

සර්ව ජනබලයේ කම්කරු දින සැමරුම් වැඩසටහන වරකාපොළ සතිපොළ පරිශ්‍රයේදී අද (01 වැනිදා) පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතය. 

‘ඉන්න තැනින් ඉස්සරහට’ මැයෙන් සර්වජන සැමරුම පවත්වනු ලබන්නේ සර්වජන වෘත්තිය සමිති කේන්ද්‍රය විසිනි.

ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැලිය බගවන්තලාව දණ්ඩායුධපානි කෝවිල් උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින සැමරුම ආරම්භ වන්නේ අද (01 වැනිදා) පෙරවරු 7.30 ට අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුව අසල රොටුන්ටා වටරවුමේ පිහිටි ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙනි. 

‘බොරුව නවතනු පොරොන්දු ඉටු කරනු’ තේමාව යටතේ ලෝක කම්කරු දින සැමරුම් උත්සවය පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ව මැයි දින රැලිය කොම්පඤ්ඤවීදිය හයිඩ් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ලංකා සම සමාජ පක්ෂයේ කම්කරු රැලිය කුරුඳුවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ සිට ගමන් ආරම්භ කර විහාර මහා දේවී එළිමහන් රංග පීඨය දක්වා ගමන් කිරීමට නියමිතය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මැයි දින රැලිය පලෛයි පච්චලපලෙයි නගරයේ බස් නැවතුම්පොළ අසලදී පැවැත්වේ.

ජනසෙත පෙරමුණේ කම්කරු රැලිය කතරගම දෙටගමුව වැව අසල සිට කතරගම බස් නැවතුම්පොළ දක්වා ගමන් කිරීමට නියමිතය.

දෙවන පරපුර පක්ෂයේ මැයි දින රැලිය ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය ඔරුගොඩවත්ත රජයේ ගබඩා සංකීර්ණය අසල සිට කොස්ගස් හන්දිය දක්වා ගමන් කිරීමට නියමිත අතර, සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ලංකා කම්කරු පක්ෂයේ මැයි දින රැලිය කෙසෙල්වත්ත ගුණසිංහපුර ඊ.ඒ. ගුණසිංහ පිළිරුව අසලදී සංවිධානය කර ඇත.

ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ගුණානුස්මරණ කමිටුව විසින් පවත්වනු ලබන මැයි දින රැලිය කෙසෙල්වත්ත පොලිසිය අසල පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදීත්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කම්කරු රැලිය වැලිකඩ පිහිටි එම වෘත්තීය සමිති මූලස්ථානයේදීත් පැවැත්වේ.

ලංකා වතු සේවක සංගමය විසින් සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මංසන්ධිය අසලදීත් කම්කරු රැලියක් පවත්වනු ලබයි.

ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ඒකාබද්ධ මැයි දින වැඩසටහන අතුරුගිරිය ජනෝදාන ශාලාවේදී අද (01 වැනිදා) පස්වරු 2.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම මණ්ඩලයේ සභාපති, මහජන එක්සත් පෙරමුණේ සභාපති හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

කොණ්ඩා මෝස්තරකරුවන්ගේ සංගමයක් විසින් ද මෙවර මැයි දින රැලියක් කල්මුණේ ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. All Ceylon Maruthuvar Community නමැති සංගමය විසින් කම්කරු දින සැමරුම සංවිධානය කර තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved