Connect with us

පුවත්

වනන්තර හෙක්ටයාර 256,000ක් පමණ ගැසට් කර නෑ!

Published

on

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ  පවත්වාගෙන යන  ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව  පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ  දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.

මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

2020, 2021 හා 2022 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණි. ලෝක‍යේ රටවල් තුළ  පවතින  වනාන්තර වල  ප්‍රතිශතය 31% ලෙස  සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු  පෙන්වා දුන්හ. 

ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. 2018 වන විට හෙක්ටයාර මිලියන 1.4 ක පමණ වනාන්තර ගැසට් කර ඇති බවත් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්හය දහසක් පමණ පවතින බවත් නිලධාරීහු පැවසුහ. ඒ අනුව එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට්  කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් කාරක සභා සභාපතිවරයා එලෙස  ගැසට්  කිරීමට ගතවන කාලය, ගැසට් කිරීමෙන් පසු එම වනාන්තර කුමන අධිකාරිය භාරයේ පවතින්නේද යනාදී  කරුණු ඇතුළත්  වාර්තාවක් මාස  දෙකක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙස  උපදෙස් ලබාදුන්නේය.

ලෝක උරුම  සිංහරාජ වනාන්තරය නැරඹීම සඳහා වැඩිම දෙස් විදෙස් සංචාරකයින් පැමිණ ඇත්තේ මෙම වසරේ  බව  නිලධාරීහු පෙන්වා දුන්හ.  සමස්ත සංචාරකයින් 35000කට අධික පිරිසක්  සිංහරාජ  වනාන්තරය නැරඹීමට මෙලෙස ගතවූ මාස කිහිපය තුළ පැමිණ  තිබේ. මෙහිදී වනාන්තරයට හානි සිදු නොවන අයුරින් තවදුරටත් සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි කරමින්  ඉහළ  සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කාරක  සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු ලබාදීම සඳහා ප්‍රධාන කාර්යාලයේ මධ්‍යගත දත්ත පද්ධතියක්  පවත්වාගෙන නොයෑම  සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව ඒ සඳහා වන මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූ අතර  මෙහිදී අදහස් දක්වමින්  කාරක සභා සභාපතිවරයා ඒ පිළිබඳ වාර්තාවක් ද කාරක සභාවට යොමුකරන ලෙස  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිඟ අදායම්  අයකර ගැනීම සඳහා ඵලදායී අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත  කර නොතිබීම පිළිබඳව  කාරක සභාව වීමසන ලදී. එහිදී කළු ගල් කොරි ,කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හා සම්ප්‍රේෂණ  කුළුණු මගින්  හිඟ අදායම් ලබා ගැනීමට පවතින බව ජාතික විගණ කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ. ඒ අනුව කළු ගල් කොරි සඳහා වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන බලපත්‍රය ඉක්මවා කළු ගල් කැඩීම  ඔස්සේ  මෙලස හිඟ අදායම් ලබා ගැනීමට පවතින බව නිලධාරීහු පැවසුහ. ඒ අනුව  කළු ගල් කැඩීමට බලපත්‍ර ලබාදීමේදී  ඒ  සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය අදාළ ආයතන හා සම්බන්ධවෙමින් නියමිත ප්‍රමාණයට පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම සම්ප්‍රේෂණ කුළුණු ලබාදීම ඔස්සේ  දුරකථන සන්නිවේදන ආයතනවලින් ද  ලබාගැනීමට  විශාල  හිඟ මුදලක් පවතින බව  නිලධාරීහු පෙන්වා දුන්හ . ඒ අනුව එම සියලු හිඟ මුදල් ලබාගැනීමට කටයුතු කරන ලෙස  කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර  වල්ලාපට්ට  නම් ශාකය  මෙරටට විදේශ විනිමය  රැගෙන ඒමේ ඉහළ  හැකියාවක් පවතින ශාකයක්  වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  වැඩි අවධානයක් යොමු කරන ලෙසට  කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී .මෙහිදී නිලධාරීහු විසින් වල්ලපට්ට ශාකය වගා  කිරීමට නීතියෙන් කිසිදු තහනමක් නොමැති බව කාරක සභාවට දැන්වුහ. කෙසේ වෙතත් මෙම ශාක වනාන්තරවලින්  කැපීම් කර නීතිවිරෝධීව බපලත්‍ර රහිතව රැගෙන යාම තහනම් බවද ඔවුහු පෙන්වා දුන්න. වල්ලපට්ට ශාකයට  සමාන ලක්ෂණ පවතින ඇක්විලාරියා (Aquilaria) නම් ආනයනික ශාකය  මේ වනවිට ශ්‍රී ලංකාව තුළ  වගාකිරීම ආරම්භ කර තිබෙන බවද එම  නිලධාරීහු  පෙන්වා දුන්න. වල්ලාපට්ටා  සහ ඇක්විලාරියා ශාක වල වෙනස පහසුවෙන්  හඳුනාගැනීමට නොහැකි බවද එම නිලධාරීහු වැඩි දුරටත් පැවසූහ. එම හඳුනාගැනීමේ අපහසුව හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් වනාන්තරවලින් කපාගන්නා ලද  වල්ලපට්ට ශාක ,පෞද්ගලික වගාවන්ගෙන් ලබාගත් ශාක ලෙස හුවාදැක්වීමට කටයුතු  කරන බව පෙන්වා දුන්න. එම තත්ත්වය  මග හරවාගැනීමට විද්‍යාත්මක  ක්‍රමයක් මගින් අදාළ ශාක වර්ග දෙක හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

පුවත්

යාපනේදී පොලිසියට ගල් ගහලා, පොලිසිය වෙඩි තියලා

Published

on

By

යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතිබවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අද (20) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව පොලීසිය එහි යනවිටත් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරු පැදියක් ගිනි තබා තිබුණි.

එහිදී පොලීසියටද ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇත.

පොලීසියට අනාවරණ වී ඇත්තේ කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් අද යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

රවී හා ශානි නැවත පත්කරන්න කියල කාදිනල් කිව්වෙ නැතිලු!

Published

on

By

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන කළ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නම් කර ඔවුන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් නොකළ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාරුකළ එවැනි නිලධාරීන් සමූහය තනතුරුවලට නැවත පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අද (20) පැවසූහ.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූහ.

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන නිසියාකාරව කිරීම සඳහා එම ප්‍රහාර පිළිබඳව දැනුම තිබූ පරණ හිටපු නිලධාරීන් නැවත තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලිමක් කළ බවත් කාදිනල්වහන්සේ නිලධාරීන් නම් කර කිසිම රජයකට ඉල්ලිමක් හෝ බලපෑමක් නොකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ගෝඨාභය ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රාශියක් මාරු කළ බවත් ඒ අනුව අලුතින් පත්වූ නිලධාරීන් සතුව විමර්ශන කිරීමට තොරතුරු නොමැතිවීම නිසා විමර්ශනයට අසාධාරයක් වීම නිසා එම ඉල්ලීම කළ බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කීහ.

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහත්මයා ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණයත් නොවන අතර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු බවත් ඔහුට විරුද්ධව නඩු පවරන ලෙස ජනාධිපතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් සහ සී.අයි.ඩී. භාර ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා පැවසූහ.

නිලන්ත ජයවර්ධන මහත්මයා ‘පාස්කු’ බෝම්බ ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බවත් එවකට ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහත්මයා ආරක්‍ෂක අමාතයවරයෙක් හෝ පත්නොකර සිංප්පූරුව බලා යද්දී බෝම්බ ප්‍රහාර පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම විශාල වගකීමක් පැහැරහැරීමක් බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

එම වැරදට නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වසර හයක් තිස්සේ රජයන් තුනකින් ඉල්ලීම් කළ ද එම රජයන් තුනම එය පැහැරහැරි බව කී ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ එම ඉල්ලීම පැහැරීමට අමතරව එවැනි ආකාරයේ චෝනාවක් තිබෙන නිලන්ත ජයවර්ධන වසර හයක් තිස්සේ එම තනතුරේ තියාගෙන සිටි බවත්ය.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

නුවර සැලුන්එකදී දුමක් වැදී කතුන් හතක් සිහිනැති වෙයි!

Published

on

By

මහනුවර පේරාදෙණිය පාරේ රූපලාවන්‍යාගාරයක් තුළ සිහි විසඥ වී වැටීසිටි තරුණියන් හත් දෙනකු රෝහල් ගත කළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

එම රූපාලාවන්‍යාගාරය ඇතුළු අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ සිට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදුව තිබූ බැවින් එම රූපලාවණ්‍යාගාරය තුළ තිබූ කිලෝ වොට් 15ක විදුලි උත්පාදක යන්ත්‍රයක් භාවිත කරමින් වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මක වෙමින් තිබියදී එම වායු සමීකරණ යන්ත්‍ර තුළින් විෂ වායුවක් ඇතුළු වී එම තරුණියන් සිහි විසඥ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

ගොඩනැගිල්ලක පහත මාලයේ නිසි පරිදි වායු සංසරණයක් සිදු නොවන ස්ථානයක තරුණියන්ගේ සම සුදු කිරීමේ රූපලාවන්‍යාගාරයක් තුළ මෙම අනතුර සිදුව තිබේ.

රූපලාවන්‍යාගාරය පිටත තරුණියක වැටී සිටින අහම්බෙන් දුටු පුද්ගලයකු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම තරුණියන් වහාම රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එසේ සිහි නොමැතිව වැටී සිටි තරුණියන් පස් දෙ‍ෙකු මහනුවර ජාතික රෝහලට ද තවත් දෙදෙකු පෞද්ගලික රෝහලකටද ඇතුළත් කොට තිබේ.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved