අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම වැදගත් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (13) අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
විශේෂයෙන් වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම එම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙහිදී බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ අදානි සමූහ ව්‍යාපාරයේ මන්නාරම සුළං බල ව්‍යාපෘතියට පමණක් විරොධතා එල්ල වූයේ එය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපහසු ව්‍යාපෘතියක් හේතුවෙන් බවය.
වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට මුදල් යෙදවීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟී ඇති නමුත් එම ගැටලුව ඇත්තේ අදානි සමූහය සහ එම අරමුදල ලබාදීමට එකඟ වූ අමෙරිකානු ආයතනය අතර බවද අමාත්‍යවරයා පවසා තිබේ.
කෙසේවෙතත්, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ කොළඹ වරාය ව්‍යාපෘතිය සඳහා සිය අභ්‍යන්තර ප්‍රාග්ධනය ලබා දීමට අදානි සමූහ ව්‍යාපාරය එකඟ වී ඇති බවය.
කොළඹ වරාය පෞද්ගලිකරණය කිරීමේ කිසිදු සූදානමක් නැති නමුත් වාරයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බවද බිමල් රත්නායක මහතා මෙහිදී පවසා තිබේ.
ලබන වසරේ ජූනි 30 වැනිදා වන විට නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එයද වරාය මෙහෙයුම්වලට සම්බන්ධ වන හෙයින් දැනට වඩා දෙගුණයකටත් වැඩියෙන් බහාලුම් කටයුතු කාර්යක්ෂමවත් ක්‍රියාත්මක වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.