ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරු “මැලගසි රෝස“ (Rose wood) මෙට්‍රික් ටොන් 420ක් බරැති දැව කඳන් 3669ක ප්‍රමාණයක් ගබඩා ගාස්තු ලෙස රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වැය කොට ගබඩාවල තැබීමට ශ්‍රී ලංකා රේගුවට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම දැව කඳන් විකිණීමට සැලසුම් කළද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් වසර 09ක් පුරාවට මෙලෙස ගබඩා කර ඇත.
තවද පදම් නොකළ මෙම දැව කඳන් වලට මේ වන විට කෘමින්ගෙන් හානි සිදුව ඇත.
ටැන්සානියාවේ සැන්සිබාර් වරායේ සිට ශ්‍රී ලංකා වරාය හරහා හොංකොං වෙත ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම දැව කඳන් ගෙන ඇත්තේ අප්‍රිකානු ඝන දැව ලෙස සඳහන් කරමින්ය.
බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් මෙම දැව කඳන් තොගය 2014 වර්ෂයේ සිට 2023 අප්‍රේල් 30 වනිදා දක්වා ඉවත් කර නොගෙන රේගු අංගනයක ගබඩා කර තිබුණු බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 23 වනිදා ආනයනය කරන ලද අධිබලැති විකිරණශීලී මුලද්‍රව්‍යයක් සඳහා වරාය සංවර්ධන බදු සහ එකතු කළ අගය මත බදු වශයෙන් රේගුවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් ගෙවීමට ඇති අතර මේ වර්ෂයේ ජනවාරි 1 වනිදා වනවිටත් එම බදු මුදල් රේගුවට ගෙවා නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම සියලු තොරතුරු සඳහන් වනුයේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.