Connect with us

පුවත්

ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිදු බියක් ඇති කර ගන්න එපා – ජනපති

Published

on

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව  ක්‍රියාත්මක එකම රට  ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු  බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දෙන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බවත් ඒ අනුව එවැනි කටයුතු සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක් වෙමිනි.

ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසිඳලිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600 ක් වැය කරමින් ඉදිකෙරුණු මෙම නව අධිකරණ සංකීර්ණය  සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් , පරිවාස කාර්යාලයක් , ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. 

ගාල්ල නීතිඥ ප්‍රජාව විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්  ද ප්‍රදානය කරනු ලැබිණ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය  : 

මෙම අධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම පිළිබඳ මාම විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. සංචාරක කලාපයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බැවින් පැවති අධිකරණ සංකිර්ණය හැකි ඉක්මණින් මෙතනින් ඉවත් කරන ලෙස මෙම දැනුම් දුන්නා. අද එම කටයුත්ත සිදු කර තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ගොඩනැඟීමේදී  මෙම පළාතෙන් පිට විශාල හෝටල් ඉදිකිරීම සඳහා අප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ගමනාගමන මණ්ඩලය, දැව සංස්ථාව සහ මහමෝදර රෝහලත් ඒ වගේම හෙද විදුහල, බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයත් නගර මධ්‍යයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හික්කඩුව ප්‍රදේශයේත් මෙවැනි අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. 

ගාල්ල දිසා අධිකරණ සංකීර්ණය මේ රටේ ඉතිහාසයේ කොටසක් බව කිව යුතුයි. ඕලන්ද පාලනයෙන් පසු බතාවියානු ප්‍රකාශය මඟින් ලංකාවේ රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කළා. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන විට මේ ගාල්ල ප්‍රදේශය අධිකරණ බල ප්‍රදේශයක් බවට පත් වුණා. මෙහි අධිකරණ මණ්ඩලයක් සහ සිවිල් මණ්ඩලය හා ඉඩම් මණ්ඩලයක්ද පත් කළා. අපේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණේ මේ ආකාරයටයි. ඒ අනුව ගාල්ල අධිකරණ ප්‍රදේශය මාතර දිසාව, ගාල්ල වශයෙන් කොටස් දෙකක්  ලෙස පැවතුණා. කෙසේ වුවත් අධිකරණ කලාපයක් ලෙස තවමත් ඒ අයුරින් ක්‍රියාත්මක වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පමණයි. 

මේ අතර ඉඩම් මණ්ඩලයේ බහුතරයක් සිටියේ ඕලන්ද ජාතිකයන්. ඉතිරි සුළුතරය රුහුණේ සිටි ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් නීතිය ඉගෙන ගත්තේ එතනින්. පසුව ඉංග්‍රීසි සමයේදී මෙම පිරිස නීතිඥවරුන් ලෙස ඉදිරියට පැමිණියා. 
එතැන් සිට ලාංකිකයන් බොහෝ පිරිසක් නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කළා. ඒ වගේම නීතියේ සිට ව්‍යවස්ථාදායක සභාවට පැමිණියා. ඒ අනුව ව්‍යවස්ථාදායක ක්‍රමයේ පදනම බවට පත් වූණේ නීතිඥයන්. ඉන්පසුව සර්වබල ඡන්ද බලය හිමි වූ නිසා ඩොනමෝර් ක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කළා. ඉන්පසුව සෝල්බරි ව්‍යවස්ථාව මඟින් ඉංග්‍රීසි ක්‍රමය ඇති වුණා. ඉන්දියාව වෙනම ජනරජ ව්‍යවස්ථාවක් ගෙන එන විට අප ඉංග්‍රීසි ක්‍රමය ලබා ගත්තා. 

ඉන්පසුව කොල්වින් ආර්. ද සිල්වා යටතේ පළමු ජන රජ ව්‍යවස්ථාව හදුන්වාදුන් අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවන ජන රජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. අපට ව්‍යවස්ථා ඉතිහාසයක් තිබෙන අතර නීතිය සමඟ බැඳීමක් සහ ගරු කිරීමක් ද තිබෙනවා. 
1931 වසරේදී ආසියාවේ සහ අප්‍රිකාවේ පළමු වරට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ ශ්‍රී ලංකාවටයි. වෙන කිසිඳු රටකට එය හිමි වුණේ නැහැ. ඇමරිකාවේත් ඇතැම් ප්‍රාන්තවල කළු ජාතිකයන්ට ඡන්දය තිබුණේ නැහැ. එය ලබාගැනීමෙන් පසු අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අප මේ පිළිබඳ ආඩම්බර විය යුතුයි. යුද්ධ තිබුණත්, කැරළි තිබුණත් 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආසියාවේ සහ අප්‍රිකාවේ එකම රට ශ්‍රී ලංකාවයි. අප කොතරම් වාද කළත්, ප්‍රජාතන්ත්‍රවාදය  කැඩෙන්න ඉඩ දුන්නේ නැහැ. 

මැතිවරණයකින් පරාජය වූ පසු ගැටුමකින් තොරව බලය මාරු කර ගන්නේ ලංකාවේ පමණයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා. වාද විවාද ඇති වුණත්, කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්නේ නැහැ.

ඇතැම් ප්‍රශ්න මතු වූ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බව සමහරු කියනවා. අපේ ව්‍යවස්ථායකය, අධිකරණය සහ දේශපාලන ක්‍රමය කෙසේ හෝ මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොකුම තර්ජනය එල්ල වුණේ 2022 වසරේ. නමුත් අප එකඟත්වයෙන් ඉදිරියට යනවා. 

අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි. 
2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන්  භාර දෙන්නේ කේ. එන් චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ  බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. 

ඒ වගේම මෙම ගාලු ඉතිහාසයේ උරුමය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් ආණ්ඩුවෙන් ඒ සඳහා මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කරනවා. 

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා :

රුහුණේ පුරවැසියෙක් ලෙස අද මටත් ඉතා සතුටුදායක දිනයක් බව කිව යුතුයි. නවීන පන්නයේ අධිකරණ සංකීර්ණයක් අද දකුණු පළාතට හිමිව තිබෙනවා. 

ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන්ට සිය කටයුතු කරගෙන යාමේ දී අඩු පාඩු රැසකට මුහුණ දීමට සිදුව තිබුණා. මේ අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් කිරීමට වසර 12ක් පමණ ගත වුණා. ඒ වගේම මෙහි වැඩ කටයුතු කරගෙන යාමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමටත් සිදු වුණා. ජනාධිපතිතුමාගේ මැදිත්විම නිසා අද මෙම සුන්දර ගොඩනැඟිල්ල ඉදිකිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

පසුගිය වසර දෙක තුළ රට අර්බුදකාරී තත්ත්වයකට පත්වුණද අධිකරණ  ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.

මෙම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමත් සමඟ ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරනවා. ඒ නිසා මෙම නව අධිකරණ සංකීර්ණය  අප ඉදිකළේ දේශපාලන අභිමතාර්ථ  ඉටු කර ගැනීමට නොවන බව සඳහන් කළ යුතුයි. අධිකරණය තුළින් ජනතාවට සහනයක් ලබාදීම අපේ අරමුණයි. අධිකරණය ජනතාවගේ දේවාලයක් ලෙස අප සලකනු ලබනවා.

කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා :

මෙම අධිකරණ සංකීර්ණය යතාර්ථයක් බවට පත් කිරීමට සහාය දුන් සැමට ස්තූතිවන්ත වෙනවා. එදා රට ආර්ථික අර්බුදයට ලක් වූ අවස්ථාවේ මෙහි වැඩ කටයුතු කරගෙන යාම අසීරු වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් අවසන් කිරීමට අවශ්‍ය මූල්‍ය  ප්‍රතිපාදන ලබා දුන්නා. එසේ නොවන්නට මෙය මහ පොළොවේ යතාර්ථයක් බවට පත් නොවීමට ඉඩ තිබුණා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ගීතා කුමාරසිංහ, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එස් හපුගස්වත්ත යන මහත්වරුන්, මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, ගාල්ල නීතිඥ සංගමයේ සභාපති රුවන් ආසිරි ද සිල්වා ඇතුලු  නීතිඥවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව  සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

මාර්ග ආරක්ෂාව තහවුරු කරන්න ජාතික සැලැස්මක්

Published

on

By

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික මට්ටමේ  සැලැස්මක් සකස් කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දිනෙන් දින මෙරට සිදු වන රිය අනතුරු නිසා සිදු වන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යමින් තිබේ.

අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සහ මාර්ග භාවිතයේදී විනයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම ජාතික සැලැස්ම සකස් කිරීමට නියමිතය.

රට තුල සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී විනයගරුක සමාජයක් සහ පුරවැසියකු ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කෙරේ. 

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමාජීය හා ආචාධර්ම අංශ නියෝජනය කරන නිලධාරිහුද,  ජාතික රෝහලේ අධ්‍යක්ෂ (හදිසි අනතුරු සේවා) වෛද්‍ය ඉන්දික ජාගොඩ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිවකුමාර් සහ මහාචාර්ය එච්.ආර්. පසිදු යන මහත්වරු සහ නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) සහ තවත් නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ඉන්ධන මිල පහළට

Published

on

By

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274කි. 

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වේ. 

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading

පුවත්

තැන තැන ඇති හෙට “මැයි රැළි”

Published

on

By

ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් මැයි දිනය සමරමින් දේශපාලන පක්ෂ සිය මැයි දින රැළි හෙට දිනයේ කොළඹ මෙන්ම කොළඹින් පිටත ද පැවැත්වීමට සැළසුම් කර ඇත.

ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පස්වරු 3.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.

‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය’ යන තේමාවෙන් මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැළිය සංවිධානය වී ඇත.

සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය හෙට පැවැත්වෙන්නේ තලවාකැලේ නගරයේදී ය.

‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන්න ඔවුන්ගේ මෙවර මැයි දිනයේ තේමාවයි. හෙට පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම මැයි රැළිය පැවැත්වීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනය වෙනුවෙන් විශාල රැස්වීමක් පැවැත්වීම ප්‍රයෝජනයක් නැති බව පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මැයි පළමුවැනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම සඳහන් කලේය.

මේ අතර මැයි රැලි දෙකක් සඳහා කොළඹ හයිඩ් පිටිය දේශපාලන පක්ෂ විසින් වෙන් කිරීම නිසා මත භේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය සඳහා කොළඹ මහනගර සභාවෙන් එම ක්‍රීඩාංගණය වෙන්කර ගෙන ඇත්තේ ජනවාරි මාසයේදීය. 
එහෙත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලංකා සම සමාජ පක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය ඒකාබද්ධ මැයි රැලිය සඳහා එම ක්‍රීඩාංගණය වෙන්කරගෙන ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා ය.

මේ නිසා එකම දිනයේ ක්‍රීඩාංගණය දේශපාලන පක්ෂ දෙකකට ලබාදීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ මහ නගර සභාව සහ පොලිසිය එක්ව දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වී ඇත.

කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරන්නේ ක්‍රීඩාංගණය ලබානොදීම නිසා කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු පවරන බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වනු ලබන මැයි රැලිය හෙට පැවැත්වෙන්නේ කිරුළපන ලලිත් ඇතුලත්මුදළි ක්‍රීඩාංගණයේදී සවස 3.00ට බව ඔවුන් විසින් මේ වනවිට සඳහන් කර තිබේ.

හෙට සවස 3.00ට හයිඩ් පිටියේ දී සමාජවාදී ජනතා පෙරමුණේ මැයි රැළිය පැවැත්වීමට නියමිතව ඇත.

හෙට දවසේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved