Connect with us

පුවත්

වාහන ජාවාරමකට සම්බන්ධ අයෙක් V8 එකක් සමඟ අල්ලයි

Published

on

මහා පරිමාණ වාහන ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ගයේ කොළඹ පිවිසුමේදී ගැලනිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගි v8 වර්ගයේ ජීප් රථයකට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර ධාවනය කරමින් සිටියදීය. 

බණ්ඩාරගම විශාකාවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් භාරයට ගත් ජීප් රථයේ චැසි සහ එන්ජින් අංක මකා දමා තිබී ඇත.

සැකකරු භාරයේ තිබී විවිධ වාහනවලට අයත් ලියාපදිංචි පොත් 10ක් හා ලියාපදිංචි අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සුඛෝපභෝගි ජීප් රථය අධිවේගී පිවිසුම ආසන්නයේ පොලිස් නිලධාරීන් නැවතීමත් සමඟම සැකකරු පොලිස් නිලධාරීන් වෙත රුපියල් එක්ලක්ෂ පනස්දහසක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කර බැලූ බව ද පොලිසිය කියයි. 

සැකකරු අත්අඩංගුවට ගෙන සුළු මොහොතක් ගතවෙද්දී ඔහු මුදා හරින ලෙස බලපෑම් කරමින් විවිධ පාර්ශ්වවලින් පොලිසිය වෙත දුරකතන ඇමතුම් රැසක් ලැබුණු බවද මේ අතර වාර්තා වේ.

හොරණ මාර්ගයේ සිට පැමිණ තිබූ සුඛෝපභෝගි ජීප් රථය කොළඹ පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීම සඳහා පැමිණීමේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයාගේ අවධානය වාහනයේ ඉදිරිපස අංක තහඩුව කෙරෙහි යොමු වී ඒ පිළිබඳ සැකයක් මතුව තිබේ. 

පසුව වාහනය නවතා සිදු කළ පරීක්ෂාවේදී එහි සවි කර ඇත්තේ වෙනත් වාහනයක අංක තහඩුවක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ජීප් රථයට අදාළ බලපත්‍රය කල් ඉකුත් වී ඇති බැවින් මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව සවි කරගෙන ආ බව සැකකරු පැවසුවත් ජීප් රථයේ චැසි හා එන්ජින් අංක ද ව්‍යාජ අයුරින් කොටා තිබූ බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. 

සැකකරු සන්තකයේ තිබූ වාහන ලියාපදිංචි පොත් දහය සම්බන්ධයෙන් සහ ලියාපදිංචි අංක තහඩු දෙක සම්බන්ධයෙන් ද දීර්ඝ විමර්ශනයක් සිදු කරන බවද මේ අතර වාර්තා වේ.

ගැලනිගම පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිසිය වෙත භාරදී ඇති අතර, රථ වාහන අංශයේ පොලිස් සැරයන් (37199) සම්පත් මහතා සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සැකකරු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, වාහනය සම්බන්ධයෙන් සහ ලියාපදිංචි පොත් 10 සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ වාර්තා, රජයේ රස පරීක්ෂක වාර්තා හා මෝටර් රථ පරීක්ෂක වාර්තා ද අද (19) දිනයේ ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved