Connect with us

පුවත්

වැට් හා ආදායම් බදු සහන දෙන්න රජයේ සැලසුමක් – ජනපති

Published

on

IMF ඉලක්ක සපුරා ගැනීම සහ  ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති යළි තහවුරු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද සහභාගී වු මෙම හමුවේ දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක්  කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව  යළි මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කළහ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට..?

Published

on

By

කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,

“කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂය හැටියට පෙනී යන්නේ පවතින ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. 

කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක් හැටියට අපි ලබාදෙන්න කැමැතියි.” 

මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයේ පොදු එකඟත්වය මත සමගි ජනබලවේගය විසින් තම පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත් කරන බවත්, නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට එකඟත්වයකට පත්ව ඇති බවත්, සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙසේය:

“පළාත් පාලන ආයතන ගණනාවකට කොමසාරිස්වරුන් විසින් බහුතර කැමැත්ත මත සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් පත් කිරීමට යෝජනා කර ඇති අතර, අපි විශ්වාස කරනවා විපක්ෂයේ එක්සත් ප්‍රතිසංහිඳියාවක් සහිතව බහුතරයක් දිනාගත හැකි තත්ත්වයක් තිබෙනවා.

විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව සම්බන්ධයෙන් බලය විපක්ෂයට හිමි වන අතර එම බහුතරය තුළ ස්වාධීන කණ්ඩායම්ද අන්තර්ගතය.

ආණ්ඩුව විවිධ වරදාන සහ වරප්‍රසාද ඔස්සේ සභිකයන්ගේ සහය ලබාගැනීමට උත්සාහ කරනවා. කෙසේවෙතත්, අපට දැඩි විශ්වාසයක් තියෙනවා සමගි ජනබලවේග නියෝජිතයෙකු නගරාධිපති ලෙස පත් කිරීමට හැකියාව ඇතැයි.

අප නගරාධිපතිධුරය සඳහා අපේ නාමයෝජිතයා ඉදිරියේදී නම් කරනවා. තවත් දින දෙකක් තුළ කණ්ඩායම රැස්වී පොදු එකඟතාවයකින් වැඩි කැමැත්තක් ඇති නියෝජිතයෙකු ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම අපට සහය දැක්වූ පක්ෂය වන අතර, ඔවුන් නියෝජ්‍ය නගරාධිපති ධුරය බලාපොරොත්තු වනවා. ඔවුන් විපක්ෂයේ දෙවැනි විශාලතම පක්ෂය වන නිසා, එම ධුරය ඔවුන්ට ලබාදීමට අපි එකඟ වෙලා තියෙනවා.”  

Continue Reading

පුවත්

ලිඳුල නගර සභාවේ හිටපු සභාපති රිමාන්ඩ් (Update)

Published

on

By

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. 

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළාය.

තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් සැකකරු කටයුතු කරමින් සිටියදී එම නගර සභාවට අයත් අංක 12 දරණ මස්කඩ කාමරය බදු දීමේදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට එය ලබා නොදී අඩුම ලංසුව ඉදිරිපත් කළ අයට එය ලබාදීමෙන් රජයට රුපියල් 2380000/- ක් පාඩු සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


(පෙර පුව​ත 2025 ජුනි 02, ප.ව.2:46)

නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදි සිදුව රජයට සිදුව ඇතැයි කියන පාඩුවක් සම්බන්ධයෙනි.

එහිදී ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් රජයට සිදු කිරීමේ චෝදනාව මත හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අද (02) දින අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමකට දින නියම වේ

Published

on

By

ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ .එච්.එම්.ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහුගේ නම විවෘත අධිකරණයේ අඬගසනු ලැබූ නමුත් එම අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි සති හතරක් තුළ වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති ඒ .එච්.එම්. ෆවුසි , ඔහුගේ ‍ලේකම් වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දුන් බවත් පසුව ඔහු එය තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවයි.

පසුව අමාත්‍යංශ අරමුදල් වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කර ඔහු එම වාහනය නඩත්තු කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර ඔහු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් වසර 10 කට අත් හිටවූ සිර දඬුවම් නියම කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

අමාත්‍යවරයෙක් වශයෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබූණද මෙම ක්‍රියාව තුළින් ඔහු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ තුළින් ඔහු රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved