Connect with us

පුවත්

වැටුණු ආර්ථිකය ගොඩගන්න තියෙන එකම ඉනිමග IMF – ජනපති

Published

on

බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට සූදානම් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“රටක් බංකොලොත් වූ විට යන්න තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. ඒ හැර ලෝකයේ රටක් බංකොලොත් වූ විට ආධාර ලබා දෙන්න වෙනත් සංවිධානයක් නෑ. ආර්ථිකය කඩා වැටුණු හැම රටක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තමයි නැවත ගොඩ ආවේ. කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩ නඟන්න ග්‍රීසියට අවුරුදු 13 ක් ගතවුණා. මම අවුරුදු දහතුනක් ජනාධිපති ධූරයේ සිටීමට බලාපොරොත්තුවක් නැහැ… මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට නම් තිබෙන්නේ එක ඉනිමගයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කියමින් ඉන්නවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩ එන්න වෙනත් ඉණිමඟක් තියෙනව නම් කියන්න කියලා මම ඒ අයට යෝජනා කරනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.

ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවෙකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේද පවසා තිබේ :

“ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ දී. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික ගිවිසුමට එකඟ වීමට හැකි වුණා. ඔවුන් අපට ක්‍රියාත්මක කිරීමට කරුණු පහළොවක් ලබා දුන්නා. එය දෙසැම්බර් 31 වැනිදාට පෙර ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කාලය ලබා දුන්නා. නමුත් එදිනට එය සිදු කරගන්න අපට නොහැකි වුණා. ඉන්පසුව ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබා ගැනීමට අප කටයුතු කළා. එම අවස්ථාවේදීත් අපට එම කරුණු 15 ඉටු කරගන්න නොහැකි වුණා . අවසන් වශයෙන් පෙබරවාරි 15 වනදා දක්වා කල් ලබා ගැනීම සිදු කළා. පෙබරවාරි පහළොස් වෙනිදා සවස 06:00 වන විට අපි කරුණු සියල්ල සම්පූර්ණ කර වොෂින්ටන් නුවරට යොමු කලා.”

“මෙම කරුණු පහළොවෙන් එක් කරුණක් පමණයි ප්‍රමාද වෙමින් තිබුණේ. ඒ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කරුණයි. විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 230ක් අලාභයක් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ලබාගන්නා රාජ්‍ය බදු වලින් ආයතන නඩත්තු කරන්න යන්න එපා කියලා.”

“එහෙම වුනොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලැබෙන්නේ නෑ කියලා දන්වා තිබුණා. නමුත් මේ රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා. මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම ඉටුකර අවසන්. දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි.”

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved