Connect with us

පුවත්

වැඩිපුර ගෙවූ මුදල් ගෙවන්න බෑ කියූ අමු අහාර සැපයුම්කරු ගැන හෙළිදරව්වක්

Published

on

බංකලොත් බව ප්‍රකාශ කරමින්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්‍රතික්‍ෂේප කළ අමු අහාර සැපයුම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවක් ලෙස කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය විය.

ප්‍රසම්පාදන කමිටුවේ තීරණය නියමිත පරිදි ගිවිසුම් කොන්දේසි වලට ඇතුළත් නොකිරීම නිසා අදාළ සැපයුම් කරුගෙන් එම හිඟ මුදල් ලබා ගැනීම ගැටලුකාරීවී ඇති බව විගණන නිලධාරීහු පැවසුහ. කෙසේ වෙතත් බංකලොත් බව ප්‍රකශ කළ සැපයුම්කරුවෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් ආයතනයක සැපයුම් කරුවෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇත්තේ කෙසේද යන්න සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවදුරටත් අදාළ හිඟ මුදල් නොගෙවූ සැපයුම් කරුවන් ආරක්ෂා නොකොට ඔවුන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් කඩිනම් අයකර ගැනීමට  නිසි වැඩ පිළිවෙලක් සකස් කරන  ලෙස අනු කාරක සභාව සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස්  ලබා දෙන  ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව 2023.11.09 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

සියලුම  රජයේ ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර  ඔස්සේ  කාර්ය  මණ්ඩල පැමිණීම හා  පිටවීම සනාථ කරන ලෙස  2017 වසරේ  රාජ්‍ය පරිපාලන  චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන  නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කරන ලදී. එහිදී සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්‍ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්න සභාපතිවරයා විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බවත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර  භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ  කලහ. පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණ වලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන  ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද  එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා  ඒ යටතේ පවතින රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන සතු ඉඩම්වල හිමිකම් ඔප්පු, මිනින්දෝරු සැලසුම්, තක්සේරු කිරීම් වල ගැටලු පිළිබඳව මෙන්ම අතර මග නවතා දමා ඇති ගොඩනැගිලි  ඉදිකිරීම් සම්බන්ධයෙන්ද අනුකාරක සභාව නිලධාරීන්ගෙන්  ප්‍රශ්න කරන ලදී. එහිදී සුදානමකින් තොරව අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා අනු කාරක සභාව හමුවේ පෙනීසිටි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අනු කාරක සභාවේ දැඩි අප්‍රසාදය හිමිය.

පුවත්

ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමුවෙයි

Published

on

By

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත විය.

එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරිණි.

Continue Reading

පුවත්

ඉන්දීය විදේශ කටයුතු ඇමති  ජනපති හමු වෙයි

Published

on

By

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය  එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව ධූර කාලය ආරම්භ වීමත් සමඟම මෙරට සංචාරයකට එක්වීමට ලැබීම පිළිබඳ සතුට පළ කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වීය. 

එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ ජයශංකර් මහතා ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය. 

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජනය, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහායවීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳව ද කරුණු පැහැදිළි කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය. 

එසේම ශ්‍රී ලංකාවට සිය ආර්ථික පුනරුදය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ද ජයශංකර් මහතා අවධාරණය කළේය. 

මෑත කාලීනව ශ්‍රී ලංකාවට මුහුණ දිමට සිදුවූ ආර්ථික අර්බුදයේ දී ඉන්දියාව  ලබා දුන් මූල්‍ය සහායට සිය කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම තම අරමුණ බවද පැවසීය.

ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කෙරිණි. 

එසේම නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර සිටියේය.

Continue Reading

පුවත්

ජයශංකර් රනිල්වත් බලන්න යයි!

Published

on

By

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී විශේෂ සාකච්ජාවක නිරතව ඇතැයි වාර්තා වේ.

සිය ධූරකාලයක තුළදී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවසා ඇත.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී ඇත. 

කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී මෙම හමුව සිදුව ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved