ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව සහ නීතිඥ දිනේෂ් දොඩංගොඩ යන මහත්වරුන් ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි තබා පහර දුන් සිද්ධිය ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවකු සිදු කරණ ලද්දක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
අදාළ පාතාල අපරාධකරුගේ පියා මෙරට චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළුවකු බවත්, මෙරට දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන කොපිකඩේ ටෙලි නාට්‍යයේ අප්පුගේ චරිතය නිරූපණය කරනු ලැබුවේ ඔහු පැවසේ.
ඩුබායි සිටින අපරාධකරුගේ මෙහෙයවීමෙන් වෙඩික්කරුගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 02ක මුදලක් ද යතුරුපැදිකරුගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 02ක මුදලක් ද ඩුබායි බැංකු ගිණුමක් ඔස්සේ බැර කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
මේ අතර, වෙඩික්කරු සහ යතුරුපැදිකරු ජීප් රථයේ තිබී කිසිදු ලිපිගොනුවක් පැහැරගත් බවට මෙතෙක් කළ විමර්ශනවලින් තොරතුරු කිසිවක් හෙළි කර ගැනීමට නොහැකි වී ඇතැයි ද පැවසේ.
මෙම වෙඩි තැබීමට සහ පහරදීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු මෙන්ම යතුරුපැදිකරු මෙහෙයවූ වාහන කුලී ආයතනයක හිමිකරුවකු ද මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටී.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවා ජීප් රථයේ තිබුණු ලිපිගොනුවක් පැහැර ගැනීමක් ගැන තොරතුරු අනාවරණය නොවන බවද පැවැසේ.
“ජීප් එකේ ඉන්න අයට කිසිදු හානියක් වෙන්නැති වෙන්න පහරදීමක් කරන්න කියලයි කිව්වේ. අපි ඒ විදිහට කළා. ලිපිගොනුවක් ගැන නම් මම කිසි දෙයක් දන්නේ නැහැ“ යැයි අත්අඩංගුවේ සිටින යතුරුපැදිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.
මෙම යතුරුපැදිකරු වත්තල හුනුපිටියේ පදිංචිකරුවකු වන අතර වාහන කුලියට සපයන ආයතනයේ මැකෑනික්වරයකු ලෙස කටයුතු කර ඇති බව ද අනාවරණය වී ඇත. වාහන කුලියට සපයන ආයතනය පිහිටා ඇත්තේ කිරුළපන ප්රදේශයේය.
එහි හිමිකරු කලක් වත්තල හුනුපිටියේ පදිංචිව සිට ඇති බවත් යතුරුපැදිකරුගේ නිවෙසට යාබද නිවෙසක වාහන කුලියට දෙන ආයතනයේ හිමිකරු පදිංචිව සිට ඇති බවත් විමර්ශනයේදී හෙළිවී තිබේ.
වෙඩික්කරු සහ යතුරුපැදිකරු පසුගිය 17 වැනිදා නාරාහේන්පිටදී අදාළ වෙඩි තැබීමට ගොස් ඇත්තේ ද කිරුලපන පිහිටි වාහන කුලියට සපයන ආයතනයේ සිට බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
යතුරුපැදිකරුව මෙම සිදුවීමට සම්බන්ධ කරගෙන ඇත්තේ වාහන කුලියට සපයන ආයතනයේ හිමිකරු විසින් බවත් ඔහුව සහ වෙඩික්කරුව මෙහෙයවා ඇත්තේ ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරු විසිනි.
වෙඩික්කරු උස්වැටකෙයියාවේ පදිංචිකරුවකු බවත් ඔහු පාතාල අපරාධකරුවකු හෝ වෘත්තියෙන් ඝාතකයකු නොවන බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
එම පුද්ගලයා සුළු සොරකම්වලට සම්බන්ධ අයකු බව ද අනාවරණය වී තිබේ.
වෙඩික්කරු හමුදාවේ සිටි පුද්ගලයකු බවට සැක කළත් ඔහු හමුදා සේවයේ සිටි අයකු බවට පැහැදිලි තොරතුරු මෙතෙක් අනාවරණය වී නැති බවත් පැවැසේ.
යතුරුපැදිකරු, ඔහුව මෙහෙයවූ වාහන කුලී ආයතනයේ හිමිකරු, වෙඩි තැබීමෙන් පසු යතුරුපැදිය සැඟවීමට සහාය දැක්වූ දෙදෙනකු, යතුරුපැදිකරුගේ බිරිය සහ යතුරුපැදිකරු මහරගම තාවකාලිකව පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසයේ තොරතුරු සඳහන් කළේය.
මේ අතරින් යතුරුපැදිකරු සහ යතුරුපැදිය සැඟවීමට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (27)ය.
යතුරුපැදිය සැඟවීමට සහාය වූ දෙදෙනා වත්තල හා ග්‍රෑන්ඩ්පාස්හි පදිංචිකරුවන්ය.
වෙඩික්කරු අහසට වෙඩි තබා ජීප් රථයේ විදුලි පහන්වලට වෙඩිල්ලක් තබන විට යතුරුපැදිකරු කෙටේරියක් රැගෙන ජීප් රථයේ ඉදිරිපස වීදුරුවට පහර කිහිපයක් එල්ල කර ඇති බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත.
කෙටේරිය රැගෙනවිත් ඇත්තේ වෙඩික්කරු බව සඳහන්ය.
තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතිඥ දිනේෂ් දොඩංගොඩ යන මහත්වරුන් නීති උපදෙස් ගැනීමට මෙරට ප්‍රසිද්ධ නීතිඥවරයකුගේ නිවෙසට ගොස් පිටතට පැමිණෙන විට මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි.
ඔවුන් දෙදෙනා එම නිවෙසට යන බව මෙන්ම එම නිවෙස පිහිටි ප්‍රදේශය ගැනත් ජීප් රථය ගමන් ගන්නා මාර්ගය ගැනත් ප්‍රහාරය එල්ල කළ යුතු ස්ථානය ගැනත් කල්තියාම වෙඩික්කරු සහ යතුරුපැදිකරු දැනුවත් කර තිබී ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
යතුරුපැදිකරු සහ යතුරුපැදිය සැඟවීමට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පැවැත්වීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.
මෙම සැකකරුවන් තිදෙනා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතාගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු ඊයේ (28) අධිකරණයෙන් අවසර ද ඉල්ලා සිටියේය.
සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඉදිරිපත් කරනු ලැබුවේ ඊයේ පස්වරුවේදීය.
මෙම සිද්ධියට අදාළව තමාට ප්‍රකාශයක් දීමට අවශ්‍ය බව ද අත්අඩංගුවට ගත් සැකකරුවකු කළ ඉල්ලීමකට අධිකරණයෙන් අවසරය හිමිවිය.
මෙම සිද්ධියට අදාළව මීට පෙර ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාන්තාව ඇතුළු අනෙක් සැකකරුවන් තිදෙනා අද (29) පස්වරු දෙකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
මූලාශ්‍රය – අරුණ