Connect with us

පුවත්

විජිතගේ ප්‍රකාශය වැරදියි

Published

on

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ධනුෂ්ක රාමනායක මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට නව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01 වෙනිදා පැවැත්වු සිය පළමු මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍ය ය.

දැන හෝ නොදැන සිදුකළ එකී ප්‍රකාශය මත මාධ්‍ය ආයතන ඇතුළු සමස්ථ ජනතාව නොමග යවන සුළු බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව ඇත.

එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරිමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කල අතර එය විසින්, ඉන් අනතුරුව 2015 පෙබරවාරි 27 වන දින සිදු කළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලදී.

ඉන් අනතුරුව එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, එහිදී එවකට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුන්හ.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වනුයේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්‍ෂණ පැවැතිය ද, මහ බැංකුව විසින් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති බවයි. එබැවින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු විය. එම කොමිෂන් සභාව විසින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කලේය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර මෙම නඩුව ගරු චමත් මොරායස් (සභාපති), ගරු දමිත් තොටවත්ත සහ ගරු එච්. නාමල් බණ්ඩාර බැල්ලලේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනිණ. එහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී.

නීතිපතිවරයා විසින් මෙම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කළ අතර මේ පිළිබඳ ගරු අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ද ප්‍රතික්ෂේප විය.

අනතුරුව මෙම නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අතර 2025 ජනවාරි මාසයේදී විභාගයට ගැනීමට නියමිතය.

ගරු නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මුල් අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට සාක්ෂිකරුවන් 59 දෙනෙකු ලැයිස්තුගත කර ඇත.

එසේම අවධාරණය කළ යුතු තවත් කරුණක් වනුයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු හෝ නොවන බවය.

එබැවින් ගරු විජිත හේරත් මහතා චෝදනා කරන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යම් මුක්තියක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නොතිබූ අතර ඇත්ත වශයෙන්ම හිටපු ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක එවැනි මුක්තියක් ඉල්ලා නොමැත.

එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,ඉතිහාසයේ මෙරට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය වසර දෙකක් තුළ සමනය කර දුන්නා පමණක් නොව, දිග්ගැස්සෙන අරාජිකත්වයක් වෙත ඇදීගිය රටක් නිදහස් හා සාමකාමී තත්ත්වයකට පත්කළ බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය ද මේ වන විට හොඳින්ම තහවුරු කර තිබෙන බැවින් ඕනෑම සිදුවීමකට අදාළව යුක්තිය පසිඳලීමට බාධාවක් නොමැත.

එවැනි පසුබිමක වගකිවයුතු අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නොසුදුසු බව කාරුණිකව දැනුම් දෙමි.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved