Connect with us

පුවත්

විදුලි බිල ගැන ජාතික සභාවෙන් නිවේදනයක්

Published

on

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව හමුවී සාකච්ඡා කරන ලෙස ජාතික සභාව අද (13) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව අද (13) පස්වරුවේ හමුවී මේ පිළිබද සාකච්ඡා කිරීමට දෙපාර්ශවයේ නිලධාරීහු එකඟත්වය පළ කළහ.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව අද (13) රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුවිය.

විදුලි බල මණ්ඩලය 60%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය වැඩිකිරීමට අවසර නොලැබුණහොත් බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ අනුව ඉදිරියේදී ගල්අගුරු ආනයන කිරීමට පවා මුදල් නොමැතිවීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවධානමක්ද පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ‍පවසා සිටියේ විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබද අවසන් තීරණය ලබන 15 වැනිදා දැනුම් දීම සදහා මේවන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි. විදුලිබල මණ්බලයේ දත්ත සහ මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ වන ලබා ගෙන ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවන විට විදේශ ගතව සිටීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. මීට මාස ගණනාවකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගතවී ඇති බවත් මෙම සියලු කටයුතු සදහා උපරිම මැදිහත්වීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකළ බවත් මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසා සිටියාය.

මෙම අවස්ථාවේදී විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන දෙපාර්ශවයේම අදහස් සාකච්ඡා කොට එක් මතයකට පැමිණ තීරණයක් ගැනීම වඩා වැදගත් බවත්, නොඑසේනම් ජනතාව පීඩාවට පත්වීම වැළැක්විය නොහැකි බවත් පෙන්වා දුන් ජාතික සභාව කඩිනමින් ඒ පිළිබදව සාකච්ඡා කොට තීරණ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

එසේම කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව මගින් යෝජනා කර ඇති ‘ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව’ පිළිබදව එම අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ජාතික සභාව දැනුවත් ක‍රන ලදී. මේ පිළිබද සංකල්ප පත්‍රිකාව පිළියෙල කිරීම අවසන් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට ද පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ජාතික සභාව හරහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, ඩී.වී. චානක, සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඒ.එම් අතාවුල්ලා, නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා ද මෙම අවස්ථාවට එක්විය.

එසේම මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහුද ජාතික සභාව හමුවට කැඳවා තිබිණි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved