Connect with us

පුවත්

විදුලි මිල සංශෝධනයත් සමඟ භාණ්ඩ හා සේවා ගාස්තු  20%කින් අඩු කළ හැකියි – කංචන

Published

on

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ  ඇති භාණ්ඩ හා සේවා ගාස්තු  20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන  භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද  අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක්  ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන  ජනතාවට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද පැවසීය.සෑම වසරකම ජනවාරි, අප්‍රේල්, ජූලි, ඔක්තෝබර් යන මාසවල විදුලි ගාස්තුව සංශෝධනය කළ යුතු බවට රජය තීරණයක් ගෙන තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ කළ මිල සංශෝධනයෙන් පසුව මහජන උපයෝගීතා කොමිසමේ ඉල්ලීම මත අප්‍රේල් මාසයේ විදුලි මිල සංශෝධනයක් සිදු නොකර එය ජුලි මාසයේ  සිදු කිරීමට  එකඟතාවක් ඇති කර ගත්තා. ඒ අනුව මෙම නව විදුලි ගාස්තු සංශෝධනය ජූලි මස 16 වෙනිදා සිට ක්‍රියාත්මක වනවා. මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

2022 වසරේදී සිදුවුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු  පොලී අනුපාතය 36%ක් දක්වා ඉහළ ගියා. රුසියානු – යුක්රේන යුද තත්ත්වය නිසා ගල් අඟුරු, දැවි තෙල් ආදියෙහි මිල ඉහළ යාමක් සිදුවුණා. අමෙරිකානු ඩොලරයට ගෙවීමට සිදුවූ රුපියල් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. ඒ අනුව වසර 09කට පසුව විදුලි මිල සංශෝධනය කරන්න සිදුවුණා. ඒ අනුව  2014 වසරට පසුව විදුලිමිල සංශෝධනයක් සිදු වුණේ 2022 වසරේ අගෝස්තු මාසයේදීයි.  

නමුත් මෙවර 22.5% කින් විදුලි මිල පහත දැමීමට හැකියාව ලැබුණු ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ආර්ථික තත්ත්වය යහපත් අතට පත් කර ගැනීම විශේෂයි. ඒ වගේම පසුගිය වසර දෙක දෙස බැලූ විට වැසි තත්ත්වයේ වැඩි වීමක්ද දක්නට ලැබෙනවා. එම නිසා ජල විදුලිබල උත්පාදනය වැඩි වී තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය ද වැඩිවී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී උමා ඔය ජල විදුලි බලාගාරයේ විදුලියද ජාතික ජනන පද්ධතියට එක් කෙරුණා. පසුගිය මාස 18ක කාලය තුළ  ලංකා විදුලිබල මණ්ඩලය සිය මෙහෙයුම් වියදම් අඩු කරගැනීමට ද කටයුතු කර තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු සේවකයෙකු බඳවා ගෙන නැහැ. එහි සිටි 26,000 ක සේවක මණ්ඩලය වෙනුවට මේ වන විට සිටින්නේ 22,000ක සේවක සංඛ්‍යාවක් පමණයි.මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම සහනය ලැබී තිබෙන්නේ ඒකක 90 කට වඩා අඩුවෙන් විදුලිය  පාරිභෝජනය කරන ජනතාවටයි. ගෘහස්ථ කාණ්ඩය නියෝජනය කරන  79%ක කොටසට  මේ අනුව විශාල සහනයක් ලැබී තිබෙනවා.

විදුලි බිල ඉහලටම යන අවස්ථාවේදි  විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදිත වියදම රුපියල් 48ක් පමණ වුණා. එය අද වන විට රුපියල් තිස් පහක මට්ටමකට පැමිණ තිබෙනවා. හෝටල් සහ කර්මාන්ත වෙනුවෙන් 25%-26%ක පමණ විදුලි මිල සහනයක් ලබාදී තිබෙනවා. ආගමික ස්ථාන සඳහා 30%ක සමස්ත කාණ්ඩය වෙනුවෙන් අඩු කිරීමක් සිදු කර තිබෙනවා.  

ඉදිරියේදී තවදුරටත් විදුලි ගාස්තු පහත හෙළිමට හැකියාවක් තිබෙන්නේ ජනන ගාස්තු අඩු කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා අඩු වියදම් බලාගාර සීඝ්‍රයෙන් ඇති කළ යුතුයි. මෙම නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු තුනෙන් පසුව  මීටත් වඩා විදුලි ගාස්තු අඩු කිරීමට අපේක්ෂා කරනවා.

විදුලි ඒකක 180ට වඩා වැඩියෙන් පරිභෝජනය  කරන පිරිස  සිටින්නේ 189,000ක් පමණයි. ඒකක 30ක් භාවිතා කරන  පාරිභෝගිකයන්ට ගෙවන්න සිදුවෙන්නේ රුපියල් 290ක් පමණයි. ඒකක 1- 60 අතර විදුලි  පරිභෝජනයක් සිදුකරනවා නම්  රුපියල් 790ක පමණ මුදලක්  ගෙවිමට සිදු වෙනවා.

ඒ වගේම කර්මාන්ත ශාලා, කුඩා ව්‍යාපාර සඳහා මෙම විදුලි මිල සංශෝධනයේදී අවම වශයෙන් 20%ක මිල අඩුවීමක් සිදුව තිබෙනවා. විදුලි මිල ඉහළ දමන අවස්ථාවේදී එදින  රාත්‍රියේම  වැඩිකරනු ලබන  භාණ්ඩ හා සේවා ගාස්තු විදුලි මිල පහත දැමීමත් සමඟ අඩු කිරීමට  කටයුතු කරන බවක් පෙනෙන්ට නැහැ. පසුගිය කාලයේ ඉන්ධන මිල, භූමිතෙල් මිල අඩුවුණා. ඒ අවස්ථාවන්වලදීත් භාණ්ඩ හා සේවා ගාස්තු අඩු වීමක් අප දුටුවේ නැහැ. එම නිසා මෙවර විදුලි මිලෙහි විශාල  අඩුවීමක් සිදුව ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. අඩුම වශයෙන් 20% මිල අඩු කිරීමක් සිදු කිරීමට හැකියාව තිබෙනවා.

විදුලි මිල වැඩිවීමේදී එය කලාපයේ අනෙකුත් රටවල  විදුලි ගාස්තු සමඟ සංසන්දනය කරමින්  මාධ්‍ය වාර්තා ඉදිරිපත් වනු දක්නට ලැබුණා.  ඒ නිසා මෙවර මිල අඩු කිරීම පිළිබඳවද කලාපීය විදුලි මිල ගණන් සමඟ සංසන්දනය කිරීමක් මෙන්ම  අඛණ්ඩ විදුලිය ලබාදීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කරන ලෙස මාධ්‍යවලින් මා ඉල්ලා සිටිනවා. මේ විදුලි මිල සංශෝධනය සිදු කළේ මැතිවරණ කාලයක් නිසා බව ඇතැම්  මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් පවසනවා. නමුත් අප මේ ප්‍රතිපත්ති සකස් කළේ 2022වසරේදීයි. ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  කටයුතු කළ නිසා  මේ සංශෝධනය කරගත හැකි වුණා. අප ජනප්‍රිය තීන්දු ගත්තේ නැහැ. නමුත් නිවැරැදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ නිසා එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා. එබැවින් විදුලි මිල වැඩි වීමේදී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ලබාදුන් ආකාරයේ ප්‍රසිද්ධියක්ම විදුලි මිල අඩු කරන විටත් ලබාදීමට කාරුණික වන ලෙස මා ඉල්ලා සිටිනවා .

ඒ වගේම කාර්යක්ෂමතාවයෙන් හා මෙහෙයුම් වියදම් අඩු  ජනන සැලැස්මක් ඉදිරියේදී හඳුන්වාදීමට අප කටයුතු කරනවා. 2022 වසරට පෙර විදුලිබල ක්ෂේත්‍රය  ලබා තිබුණේ අලාබ පමණයි. නමුත් 2023 හා 2024 වසරවල මෙහෙයුම් ලාභ වාර්තා කිරීමට අප සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීම නිසා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් නැවතී තිබෙනවා. ඒ අනුව  පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මහ භාණ්ඩාගාරයෙන් මුදල් විදුලිබල මණ්ඩලයට ලබාගෙන නැහැ. මේ සමඟ විදුලිබල මණ්ඩලය ලාභ ලබන තැනකට පැමිණිය යුතු වුණා. ඒ අනුව නිසි  මූල්‍ය  විනයක් සහිතව අප කටයුතු කළ නිසා මෙහෙයුම් ලාභයක්  ලැබීමට හැකි වුණා. විදුලිබල මණ්ඩලය අනෙක් ආයතනවලට ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා අවසන් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

තවද පුනර් ජනනීය බලශක්ති සැපයුම ප්‍රචලිත කර ගැනීම වෙනුවෙන් සූර්ය පැනල සවිකරන පුද්ගලයින් දිරිමත් කිරිමට ආණ්ඩුව කටයුතු කළා. වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් ජාතික පද්ධතියට වසරකට  මෙගාවොට් 150ක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. ඒ යටතේ මේ වන විට වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් වසරකට  මෙගාවොට් 149ක් ජාතික පද්ධතියට ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved