Connect with us

පුවත්

විදුලි මිල සංශෝධනයත් සමඟ භාණ්ඩ හා සේවා ගාස්තු  20%කින් අඩු කළ හැකියි – කංචන

Published

on

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ  ඇති භාණ්ඩ හා සේවා ගාස්තු  20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන  භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද  අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක්  ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන  ජනතාවට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද පැවසීය.සෑම වසරකම ජනවාරි, අප්‍රේල්, ජූලි, ඔක්තෝබර් යන මාසවල විදුලි ගාස්තුව සංශෝධනය කළ යුතු බවට රජය තීරණයක් ගෙන තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ කළ මිල සංශෝධනයෙන් පසුව මහජන උපයෝගීතා කොමිසමේ ඉල්ලීම මත අප්‍රේල් මාසයේ විදුලි මිල සංශෝධනයක් සිදු නොකර එය ජුලි මාසයේ  සිදු කිරීමට  එකඟතාවක් ඇති කර ගත්තා. ඒ අනුව මෙම නව විදුලි ගාස්තු සංශෝධනය ජූලි මස 16 වෙනිදා සිට ක්‍රියාත්මක වනවා. මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

2022 වසරේදී සිදුවුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු  පොලී අනුපාතය 36%ක් දක්වා ඉහළ ගියා. රුසියානු – යුක්රේන යුද තත්ත්වය නිසා ගල් අඟුරු, දැවි තෙල් ආදියෙහි මිල ඉහළ යාමක් සිදුවුණා. අමෙරිකානු ඩොලරයට ගෙවීමට සිදුවූ රුපියල් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. ඒ අනුව වසර 09කට පසුව විදුලි මිල සංශෝධනය කරන්න සිදුවුණා. ඒ අනුව  2014 වසරට පසුව විදුලිමිල සංශෝධනයක් සිදු වුණේ 2022 වසරේ අගෝස්තු මාසයේදීයි.  

නමුත් මෙවර 22.5% කින් විදුලි මිල පහත දැමීමට හැකියාව ලැබුණු ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ආර්ථික තත්ත්වය යහපත් අතට පත් කර ගැනීම විශේෂයි. ඒ වගේම පසුගිය වසර දෙක දෙස බැලූ විට වැසි තත්ත්වයේ වැඩි වීමක්ද දක්නට ලැබෙනවා. එම නිසා ජල විදුලිබල උත්පාදනය වැඩි වී තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය ද වැඩිවී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී උමා ඔය ජල විදුලි බලාගාරයේ විදුලියද ජාතික ජනන පද්ධතියට එක් කෙරුණා. පසුගිය මාස 18ක කාලය තුළ  ලංකා විදුලිබල මණ්ඩලය සිය මෙහෙයුම් වියදම් අඩු කරගැනීමට ද කටයුතු කර තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු සේවකයෙකු බඳවා ගෙන නැහැ. එහි සිටි 26,000 ක සේවක මණ්ඩලය වෙනුවට මේ වන විට සිටින්නේ 22,000ක සේවක සංඛ්‍යාවක් පමණයි.මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම සහනය ලැබී තිබෙන්නේ ඒකක 90 කට වඩා අඩුවෙන් විදුලිය  පාරිභෝජනය කරන ජනතාවටයි. ගෘහස්ථ කාණ්ඩය නියෝජනය කරන  79%ක කොටසට  මේ අනුව විශාල සහනයක් ලැබී තිබෙනවා.

විදුලි බිල ඉහලටම යන අවස්ථාවේදි  විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදිත වියදම රුපියල් 48ක් පමණ වුණා. එය අද වන විට රුපියල් තිස් පහක මට්ටමකට පැමිණ තිබෙනවා. හෝටල් සහ කර්මාන්ත වෙනුවෙන් 25%-26%ක පමණ විදුලි මිල සහනයක් ලබාදී තිබෙනවා. ආගමික ස්ථාන සඳහා 30%ක සමස්ත කාණ්ඩය වෙනුවෙන් අඩු කිරීමක් සිදු කර තිබෙනවා.  

ඉදිරියේදී තවදුරටත් විදුලි ගාස්තු පහත හෙළිමට හැකියාවක් තිබෙන්නේ ජනන ගාස්තු අඩු කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා අඩු වියදම් බලාගාර සීඝ්‍රයෙන් ඇති කළ යුතුයි. මෙම නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු තුනෙන් පසුව  මීටත් වඩා විදුලි ගාස්තු අඩු කිරීමට අපේක්ෂා කරනවා.

විදුලි ඒකක 180ට වඩා වැඩියෙන් පරිභෝජනය  කරන පිරිස  සිටින්නේ 189,000ක් පමණයි. ඒකක 30ක් භාවිතා කරන  පාරිභෝගිකයන්ට ගෙවන්න සිදුවෙන්නේ රුපියල් 290ක් පමණයි. ඒකක 1- 60 අතර විදුලි  පරිභෝජනයක් සිදුකරනවා නම්  රුපියල් 790ක පමණ මුදලක්  ගෙවිමට සිදු වෙනවා.

ඒ වගේම කර්මාන්ත ශාලා, කුඩා ව්‍යාපාර සඳහා මෙම විදුලි මිල සංශෝධනයේදී අවම වශයෙන් 20%ක මිල අඩුවීමක් සිදුව තිබෙනවා. විදුලි මිල ඉහළ දමන අවස්ථාවේදී එදින  රාත්‍රියේම  වැඩිකරනු ලබන  භාණ්ඩ හා සේවා ගාස්තු විදුලි මිල පහත දැමීමත් සමඟ අඩු කිරීමට  කටයුතු කරන බවක් පෙනෙන්ට නැහැ. පසුගිය කාලයේ ඉන්ධන මිල, භූමිතෙල් මිල අඩුවුණා. ඒ අවස්ථාවන්වලදීත් භාණ්ඩ හා සේවා ගාස්තු අඩු වීමක් අප දුටුවේ නැහැ. එම නිසා මෙවර විදුලි මිලෙහි විශාල  අඩුවීමක් සිදුව ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. අඩුම වශයෙන් 20% මිල අඩු කිරීමක් සිදු කිරීමට හැකියාව තිබෙනවා.

විදුලි මිල වැඩිවීමේදී එය කලාපයේ අනෙකුත් රටවල  විදුලි ගාස්තු සමඟ සංසන්දනය කරමින්  මාධ්‍ය වාර්තා ඉදිරිපත් වනු දක්නට ලැබුණා.  ඒ නිසා මෙවර මිල අඩු කිරීම පිළිබඳවද කලාපීය විදුලි මිල ගණන් සමඟ සංසන්දනය කිරීමක් මෙන්ම  අඛණ්ඩ විදුලිය ලබාදීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කරන ලෙස මාධ්‍යවලින් මා ඉල්ලා සිටිනවා. මේ විදුලි මිල සංශෝධනය සිදු කළේ මැතිවරණ කාලයක් නිසා බව ඇතැම්  මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් පවසනවා. නමුත් අප මේ ප්‍රතිපත්ති සකස් කළේ 2022වසරේදීයි. ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  කටයුතු කළ නිසා  මේ සංශෝධනය කරගත හැකි වුණා. අප ජනප්‍රිය තීන්දු ගත්තේ නැහැ. නමුත් නිවැරැදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ නිසා එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා. එබැවින් විදුලි මිල වැඩි වීමේදී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ලබාදුන් ආකාරයේ ප්‍රසිද්ධියක්ම විදුලි මිල අඩු කරන විටත් ලබාදීමට කාරුණික වන ලෙස මා ඉල්ලා සිටිනවා .

ඒ වගේම කාර්යක්ෂමතාවයෙන් හා මෙහෙයුම් වියදම් අඩු  ජනන සැලැස්මක් ඉදිරියේදී හඳුන්වාදීමට අප කටයුතු කරනවා. 2022 වසරට පෙර විදුලිබල ක්ෂේත්‍රය  ලබා තිබුණේ අලාබ පමණයි. නමුත් 2023 හා 2024 වසරවල මෙහෙයුම් ලාභ වාර්තා කිරීමට අප සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීම නිසා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් නැවතී තිබෙනවා. ඒ අනුව  පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මහ භාණ්ඩාගාරයෙන් මුදල් විදුලිබල මණ්ඩලයට ලබාගෙන නැහැ. මේ සමඟ විදුලිබල මණ්ඩලය ලාභ ලබන තැනකට පැමිණිය යුතු වුණා. ඒ අනුව නිසි  මූල්‍ය  විනයක් සහිතව අප කටයුතු කළ නිසා මෙහෙයුම් ලාභයක්  ලැබීමට හැකි වුණා. විදුලිබල මණ්ඩලය අනෙක් ආයතනවලට ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා අවසන් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

තවද පුනර් ජනනීය බලශක්ති සැපයුම ප්‍රචලිත කර ගැනීම වෙනුවෙන් සූර්ය පැනල සවිකරන පුද්ගලයින් දිරිමත් කිරිමට ආණ්ඩුව කටයුතු කළා. වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් ජාතික පද්ධතියට වසරකට  මෙගාවොට් 150ක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. ඒ යටතේ මේ වන විට වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් වසරකට  මෙගාවොට් 149ක් ජාතික පද්ධතියට ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

Starlink  සේවාවන්  ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කරයි

Published

on

By

Starlink සිය සේවාවන් දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ ගැන සඳහන් කරමින් ඊලෝන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම වෙත සටහනක් ද එක්කර තිබේ.

Continue Reading

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved