Connect with us

පුවත්

විදෙස් දූත මණ්ඩල පත් කිරීමේදී දේශපාලන අතපෙවීම් ඇති බවට චෝදනා

Published

on

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් පත් කිරීමේදී දේශපාලන අතපෙවීම් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දන්වා සිටියි.

දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග රජය දේශපාලන පත්වීම් ලබාදීම සිය සංගමයේ පමණක් නොව මුළු රටේම කණස්සල්ලට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය නිවේදනයක් නිකුත්කරමින් මේබව කියා සිටී.

ජාතික ජන බලවේග රජය පත්වන අවස්ථාවේ අතිශය කණගාටුදායක එම සම්ප්‍රදාය අවසන් වනු ඇතැයි තම සංගමය විශ්වාස කළත් නව රජයද එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සඳහන් කළේය.

ජාතික ජන බලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, ” විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත් කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුයි” ලෙස සටහන්ව තිබුණත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කරමින් රජය විදේශ සේවය සඳහා දේශපාලන පත්කිරීම් සිදු කිරීම තැති ගන්වන සුළු බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පෙන්වාදෙයි.

විදේශයන්හි පිහිටි මෙරට මහ කොමසාරිස්, තානාපති කාර්යාලවල පුරප්පාඩු වී තිබූ තානාපති, මහා කොමසාරිස් ධුර රැසකට වෘත්තීමයභාවයේ, කුසලතා මත පදනම්ව පත් කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසළකා හරිමින් විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පත්වීම් සිදුකර ඇති බව එම සංගමය පැවැසුවේය.

ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තීමය විදේශ සේවා නිලධාරීන් නොසළකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය කීය.

එවැනි නිලධාරීන් නොසළකා හරිමින් දේශපාලන පත්වීම් ලබාදීම විදේශ සේවය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළන බවද එම සංගමය ප්‍රකාශ කළේය.

දිගින් දිගටම ජාතික ජන බලවේග රජය විදේශ සේවය සඳහා දේශපාලන පත් කිරීම් සිදු කිරීම තුලින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාවය අනතුරේ හෙළන බවත් පළපුරුදු විදේශ සේවයට කැපවූ නිලධාරීන් අධෛර්යයට පත් කරන බවත් විදේශ සේවා සංගමය පැවැසුවේය.

ඒ හේතුවෙන් ලබාදී ඇති සියලු දේශපාලන පත්වීම් යළි සළකා බලන ලෙස සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ප්‍රකාශ කළේය.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved