Connect with us

පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රු. බිලියනයකට වඩා නාස්තියක් ගැන COPE හිදී අනාවරණය වේ

Published

on

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් ) අනාවරණය විය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින් 5000කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා රු මිලියන 63කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair වැඩසටහන සඳහා රු මිලියන 1259 කට අධික මුදලක්ද වැයවූ බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු. මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී ,වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියේය. කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න  ලධාරීන්ගෙන් විමසා සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු කර ඇති බව පෙන්වා දුන්හ.

වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී ලෙස යෙදවීමට සැළසුම් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

තවද අක්‍රීයව පවතින, 2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

එමෙන්ම මෙහිදී රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින් මාර්ගයෙන් අයතා ලෙස රැකියා ඒජන්සි සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව ස්වයං පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත්
කාරක සභාවේදී කරුණු පැහැදිලි විය.

එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි.

කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ,රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන (වෛද්‍ය)පත්මනාදන් සත්‍යලිංගම්ත, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved