Connect with us

පුවත්

විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමට ජනපති එක්වෙයි

Published

on

ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථාන‍යකට ගෙන යාමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර අනතුරුව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් මෙම උපදෙස් ලබා දුන්නේය.

අවතැන් වූ ජනතාව රඳවා සිටින අඹතලේ ගල්වාන පුරාණ රජමහා විහාරය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරය, කොළොන්නාව ටෙරන්ස් .එස්. සිල්වා විද්‍යාලයේ හා වැල්ලම්පිටිය ගාමිණී විද්‍යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පැමිණි ජනාධිපතිවරයා ජනතාවගේ සුවදුක් විමසා බැලූ අතර ඔහුන්ගේ අවශ්‍යතා සොයා බලමින් ඒවා අඛණ්ඩව සපුරාලීමට ද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට අද රාත්‍රීයේ සිට ආහාර ලබාදීමට කටයුතු කරන ලෙස ද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා විශේෂයෙන්ම එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන අධිකාරිය,ආපදා කළමනාකරණය දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයනත එක්ව සකස් කරන ලෙසද දැනුම් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නළ මාර්ග භාවිතා කර ගංවතුර වේගෙන් බැස යාමට සළස්වා ජනතාව නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

ආපදා තත්ත්වයෙන් අවතැන්ව ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ නිවාස සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ වෙනුවෙන් ප්‍රජා පොලිසියේ දායකත්වයෙන් ජංගම මුර සංචාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවයි.

ආපදා තත්ත්වයට පත් වූ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේදී ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යුද හමුදාවට උපදෙස් දුන් සාගල රත්නායක මහතා ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට වගබලා ගන්නා ලෙස ද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එසේම ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත තාවකාලික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ද උපදෙස් දුන් අතර ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු, මී උණ, පාචනය ඇතුළු වසංගත රෝග පාලනය සඳහා දැන් සිටම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කර දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් අර්ධ හානී සිදුවූ නිවාස සහ ගොඩනැගිලි පිළිබඳ වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවත් පැවසීය. එම වාර්තා අනුව ඒ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ ප්‍රේමනාත් .සී. දොළවත්ත, එස්.එම්.මරික්කාර්, ජනාධිපති වෘත්තීය සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved