Connect with us

පුවත්

විමල් හැදූ කොස් පිටුව දෙල් වෙලා; වැඩේ කළ අය ගල් වෙලා

Published

on

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් කොස් උරුමයක පුනරුදය නමින් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා ආරම්භ කළ Kos Heritage නමින් එළිදැක්වූ ෆේස්බුක් පිටුව සහ යූ ටියුබ් චැනලය වසරකට ආසන්න කාලසීමාවක සිට යාවත්කාලීන කර නැතැයි වාර්තා වේ.

පසුගිය 2021 වසරේ එවකට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ සමාරභක උළෙල බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහිදී මෙම ෆේස්බුක් පිටුව සහ යූ ටියුබ් නාළිකාව එළිදැක්වීය. 

නමුත් පසුගිය වසරේ (2022 වසරේ) පෙබරවාරි මස සිට මෙම ෆේස්බුක් පිටුව යාවත්කාලීන කිරීමට කටයුතු කර නොමැති අතර එහි සඳහන් කර ඇති දුරකථන අංකයද මේ වන විට ක්‍රියාවිරහිත වී තිබේ. එමෙන්ම මේ අයුරින්ම Kos Heritage යූ ටියුබ් චැනලයද වසරකට පමණ ආසන්න කාලසීමාවක සිට යාවත්කාලීන කර නොමැත.

එසේම ‌අදාළ යූ ටියුබ් චැනලය ආරම්භ කර වසර ගණනාවක් ගතව ඇතත් එහි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඇත්ත‌ේ 56 දෙනෙකු පමණක් වන අතර ෆේස්බුක් පිටුවේද ලයික්ස් ඇත්තේ 300 කට ආසන්න ප්‍රමාණයකි.

උරුමයක පුනර්ජීවනය නැවත සනිටුහන් කරන් යන තේමාව ඔස්සේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදීමට එම ආයතන කටයුතු කළ අතර මෙම ව්‍යාපෘතිය සඳහාම කොස් උරුමයක පුනරුදය තේමා ගීතය එළි දැක්වීමද සිදුවිය. 

අදාළ ගීතය නිර්මාණය කිරීමට වසන්ත කුමාර කොබවක හා නවරත්න ගමගේ වැනි ප්‍රවීන ශිල්පීන් යොදාගනිමින් විශාල මුදලක් වැය කර ඇති බවද පැවසේ.

නමුත් මේ වන විට ඒ කිසිවකගෙන් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බව පෙනෙන්නට ඇත. මේ සම්බන්ධව විමසීම සඳහා අප අවස්ථා කිහිපයකදීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වෙත ඇමතුම් ලබාගත් නමුත් කිසිවකු ඇමතුම හා සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට යාමේදී ගාලුමුවදොර උණුසුම් තත්ත්වයක්

Published

on

By

කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ඊයේ (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ සෞඛ්‍ය ආරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසර ඇතිව වෙළෙඳ කටයුතු කිරීම අරමුණු කරගෙන ගාලු මුවදොර වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමගිනි.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ කලක පටන් වෙළෙඳාමේ නිරතවන පිරිස් එම තීරණයට විරෝධය පළ කෙරුණි.

එම ස්ථානය සඳහා වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අද පස්වරුවේ පැමිණියේ පොලිස් නිලධාරීන් ද සමඟිනි.

මෙහිදී වෙළෙඳුන් පැවසුවේ කාලයක පටන් මෙම ස්ථානයේ වෙළෙඳාම් සිදුකරනු නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතික ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවය.

කෙසේ වෙතත් ඇතිවූ තත්ත්වය මත වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් වෙළෙඳුන් වෙත දන්වා සිටියේ එළැඹෙන ඉරිදා දක්වා වෙළෙඳාම් කිරීමට අදාළ වෙළෙඳුන්ට අවසර දෙන බවයි.

Continue Reading

පුවත්

හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්ගේ සමීපතමයෝ 3ක් අත්අඩංගුවට

Published

on

By

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අනුව හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ සමීපතමයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දේශපාලන බලය යොදා අල්ලා ගන්නා ලද මේ ඉඩම් භුක්ති විඳීම සිදු වූ අතර, ඊට හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ගිය පරීක්ෂණ මත එහි ප්‍රධාන සැකකරුවන් ලෙස මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවකද සිටින අතර, එක් අයකු අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.

(සිළුමිණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved