රජයට අයත් වී ගබඩා 04 කින් වී කිලෝග්‍රෑම් 971,050ක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනය වාර්තාවට අනුව නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
2021-2022 වර්ෂවල දී මෙම සොරකම සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබිණි.
එම විමර්ශනයේ වාර්තාව අද (07) භාරදුන් අතර එමඟින් හෙළි වූ කරුණු අනුව අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත.
පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 04ක වී තොග අතුරුදන් වී ඇති අතර එම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කි.
මෙම වී තොග අස්ථානගත වීම සම්බන්ධ වැඩිදුර විමර්ශන 03ක් මේ වන විට සිදුකරන අතර අභ්‍යන්තර විගණන විමර්ශනයක්, මුලික විමර්ශනයක් හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තවද වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ට අමතරව තවත් පුද්ගලයින් මෙම සොරකමට සම්බන්ධ වී ඇත්දැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම දිවයිනේ වී අලෙවි මණ්ඩලය සතු අනෙකුත් ගබඩා වල ඇති වී තොග මේ අයුරින්ම වංචානික ලෙස අවභාවිත කර ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන ලෙස එහි සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.