Connect with us

පුවත්

ශ්‍රීලන්කන් ගුවන් හැට පැන්න කැබින් කෲ සාමාජිකයන්ට නැවත කැදවීමක්!

Published

on

ශ්‍රීලන්කන් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩල (cabin crew) සාමාජිකයන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත විශ්‍රාමිකයින් සේවයට කැඳවීමට ශ්‍රී ලන්කන් පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ.


ආහාර දීමනාව නැවත ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය අප්‍රේල් මාසයේදී මෙම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය දියත් කර අඅති බව පැවසේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය මේවනවිට සිය සේවා සපයනු ලබන්නේ අඩු කාර්ය මණ්ඩලයක් සමගින් බවද වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ, ශ්‍රීලන්කන් ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලයේ සිටි පළපුරුදු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසක් පසුගියදා විශ්‍රාම ගන්වනු ලැබීම නිසාය.  

ඒ, වයස 60ට වැඩි කිසිවකු ආයතනයේ රඳවා නොගන්නා බවට දැනුම් දෙමින් එම විශ්‍රාම ගැන්වීම සිදුකර ඇත.

තම සේවා වයස් සීමාව දීර්ඝ කර ගැනීමට ඔවුන් ආයතනයේ කළමනාකාරිත්වය සමග දිගින් දිගටම සාකච්ජා කලද එය පලරහිත වූ බවද පැවසේ.

එම තත්වය තුල එම පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරමින් පසුගිය (2024) දෙසැම්බර් 12 දා ලිඛිත ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.

විශ්‍රාම යාමට ආසන්නව සිටි එම සේවකයින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු ලිපියේ මෙසේ සඳහන්ව තිබේ.

ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලයේ ( Cabin Crew ) විශ්‍රාමික වයස දීර්ඝ කර ගැනීම.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගෞරවනීය තලයකට ඔසවා  තබන්නට දශක ගණනාවක් තිස්සේ කැප වූ සේවක සමුහයක් වන අප, ඔබේ කාරුණික අවධානය සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරමු.

වර්ථමාන ගෝලීය ප්‍රවණතා හඳුනාගත් බොහෝ ජාත්‍යන්තර ගුවන් සමාගම්, වඩාත් උත්කෘෂ්ට ප්‍රතිලාභ ලබාගන්නා අටියෙන්, විශේෂඥ දැනුමින් හා පළපුරුද්දෙන් පරිපූර්ණ ගුවන් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවා කාලය දීර්ඝ කරයි. මේ ප්‍රවණතාවයේ පිහිටමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමද, සිය ගුවන් නියමුවන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වාත්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තම සේවකයින්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වාත් දීර්ඝ කරමින් පූර්වාදර්ශයක් සපයා තිබීම අපගේ ප්‍රශංසාවට හේතු වෙයි.

මෙම ලිපිය ඔබ වෙත යොමු කරන අප, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, සාම්ප්‍රදායික විශ්‍රාම වයස වන, වසර 60 ආසන්නයට පැමිණ සිටින්නෝ පිරිසක් වෙමු. එසේ, ජ්‍යෙෂ්ඨ පුරුවැසි කඩ ඉමට ආසන්නයේ සිටියද, අප බහුතරය ඉතා විශිෂ්ට සෞඛ්‍ය තත්ත්වයේ පසුවන්නෝ වෙමු. අපගේ යෞවනය සහ වැඩිහිටි ජීවිතය, ගුවන් සේවයේ උන්නතිය වෙනුවෙනුත්, සමාගමේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත්, අත්‍යන්තයෙන් කැප කළ පිරිසක් වෙමු.

 අපගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම මගින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට, සිය මෙහෙයුම් හැකියාවන් ප්‍රවර්ධනය කරගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස මෙරට ඔසවා තැබීමේ කාර්යයටත් ඉමහත් පිටුබලයක් වන්නට හැකි වෙනවා නොඅනුමානයි.

අප ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැටුප, පවතින ව්‍යුහය තුලම ස්ථානගත වෙන නිසා සමාගමට අමතර පිරිවැයක් දරන්නට සිදු නොවෙයි. තරුණ කාර්ය මණ්ඩලයට අපගේ උපදේශනය සහ මගපෙන්වීම මහත් අස්වැසිලක් වෙන අතර, සමාගම කෙරේ පක්ෂපාතිත්වය සහ සංවිධාන ශක්තිය වැඩි කරයි.

එමිරේට්ස්, සිංගප්පූර් එයාර්ලයින්ස්, කටාර් සහ එටි හැඩ් වැනි ජාත්‍යන්තරව වැජඹෙන ගුවන් සමාගම්, අපගේ පළපුරුදු වෘත්තිකයන් ඉහල වැටුප් ගෙවමින් ඔවුන්ගේ සේවාවන්ට අනුයුක්ත කරගන්නා වග නොරහසක්. ගුවන් යානා සත්කාරක කාර්ය මණ්ඩලය, ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් සහ අනෙකුත් සියළුම ආකාරයේ පෙරටුගාමී කාර්ය මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රම බලකාය තුල රඳවා තබා ගැනීම, සමාගමේ සාර්ථකත්වයට මෙන්ම, ආගන්තුක සත්කාරයේ ප්‍රමුඛයා ලෙස, ජාතියේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහාත් ප්‍රයෝජනවත් වෙයි.

මෙම කාලීන යෝජනාව සලකා බලා, අපට සාර්ථක පිළිතුරක් ලබාදෙනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු. ”

පුවත්

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

Published

on

By

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද දින නියම කළේ ය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු ම 29 වනදා කැඳවීමට දින නියම කළේ ය.

2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ  විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පහක් ගොනු කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading

පුවත්

ජනපති සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Published

on

By

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ඇගැයුමට.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී අද (03) පෙරවරුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්  ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති  බව සඳහන් කළ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  දැනුම්වත් කළේය.

පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළඳාම, මිනිස් ජාවාරම් , ත්‍රස්තවාදය හා ආයුධ වෙළඳාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දුන් සහාය ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

සංචාරක, අයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඉතා සුරක්ෂිත රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ අතර පවතින වසර 70 ක ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳ සිහිපත් කළ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  ශ්‍රී ලංකාවේ රජය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ප්‍රසංශාවට ලක් කරන බව ද වෙළඳ, ආර්ථික,දේශපාලනික, සංචාරක හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  මෙහිදී  සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens), ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  ලේකම් ග්‍රෙගරි ලෝරන්ස් මොරියාටි (Gregory Laurence Moriarty), නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සයිමන් එරික් ඔ’කොනර් ( Simon Eric O’Connor), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් (Lalita Kapur) යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved