Connect with us

පුවත්

ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු ජනපතිවරුන් සුහද සාකච්ඡාවක

Published

on

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමු විය. 

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කමද අවධාරණය කෙරිණි. 

1956 දී පැවති බැන්ඩුන්ග් සමුළුවට සහභාගිවීම දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතාව සිහිපත් කරමින් සිය අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය සහයෝගීතාව වර්ධනය කිරීමේදී එවැනි සමුළුවල පවතින වැදගත්කම ද පැහැදිලි කළේය. 

එසේම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතුවලදී ඉන්දුනිසියානු ජනාධිපති විඩෝඩෝ මහතාගේ නායකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය. 

ජල කළමනාකරණය පිළිබඳ තීරණාත්මක කාර්යභාරය ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ලෝක ජල සමුළුවේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජල සම්පත් කළමනාකරණයේදී රටවල් මුහුණ දෙන පොදු මූල්‍ය අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය සදහා සහභාගිවීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත ද පළ කර සිටියේය. 

සන්ධාන ලේකම් කාර්යාලයක් ද පිහිටුවීම පිළිබඳව ඉන්දුනීසියාව වෙත සිය ප්‍රශංසාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට එහි පවතින වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේය.

ශ්‍රි ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා දෙරට අතර  ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට (PTA) එළැඹීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ එන්නත් වෙළෙඳපොළට ඇතුළු වීමට දක්වන උනන්දුව පිළිබඳව ද සඳහන් කළ ඉන්දුනිසියානු ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙස ද  ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එරට විශාලතම පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු ඉන්දුනීසියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සඳහන් කළ විඩෝඩෝ මහතා තිරසාර ජල කළමනාකරණය සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජලය සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සහ දේශපාලන නායකත්වයේ වැදගත්කම  පැහැදිලි කළේය. 
එමෙන්ම ඉන්දියන් සාගර කලාපීය වටද්දර රටවල සංගමය සඳහා  ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිගන්නා බව සඳහන් කළ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඒ සඳහා සිය දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඉන්දියාව සහ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව දැනට එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ තායිලන්තය, බංගලාදේශය සහ මැලේසියාව සමඟ පවතින සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින් 2025 මුල් භාගය වන විට ඉන්දුනීසියාව සමඟ වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කළේය. 

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳ සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වීම අනෙකුත් දකුණු ආසියානු රටවල් වලටද ඊට ඇතුළත් වීම දිරිමත් කරනු ඇති බව ද සඳහන් කළේය. 

දැනට පවතින ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කළ අතර ඉන්දුනීසියානු ඖෂධ, ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට ඇතුළුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවට සහතික විය.

ඉන්දියන් සාගරයේ කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ආසියාන් සංවිධානයේ ඉන්දු පැසිෆික් ඉදිරි දැක්ම සඳහා සහය දක්වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය සාගර කටයුතු සම්බන්ධයෙන් සමීප ද්විපාර්ශ්වික සහ කලාපීය සහයෝගීතාවක අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
කලාපීය වාණිජ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ රජයන්හි ප්‍රධානීන් අතර නිරන්තර රැස්වීම් පැවැත්වීම මෙන්ම ඉන්දුනීසියාව සමඟ නිශ්චිත ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය.
තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වූ කාර්යභාරය අවධාරණය කරමින් ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානයට සම අනුග්‍රහය දැක්වීම පිළිබඳව ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා ශ්‍රී ලංකාවට සිය ස්තූතිය පළ කළේය. 
මෙම මුලපිරීම වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා දෙරටේම අදාළ අමාත්‍යාංශ අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. 

නුදුරු අනාගතයේදී තමාගේ ජනාධිපති ධුරයේ කාලසීමාව අවසන් වීමට නියමිත බව සඳහන් කළ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා, ඉදිරියේදී බලයට පත්වන ඉන්දුනීසියානු නව පරිපාලනය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

ඉන්දුනීසියාවේ නව නායකත්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මහතා වෙත පුද්ගලික ආරාධනයක් ද සිදු කළේය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved