Connect with us

පුවත්

ෂාෆ්ටර්ගේ නඩු භාණ්ඩවල තිබූ ආගන්තුක DNA සාම්පලය සාජන් කෙනෙක්ගෙයි

Published

on

ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටරගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ සටහන්ව තිබූ ආගන්තුක ජෛව සාම්පලය, පොලිස් නිලධාරියකුගේ බව තහවුරු වූයේ යැයි අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණයට ඊයේ (28) දැනුම් දුන්නේය.

එම ආගන්තුක ජෛව සාම්පලය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී (සෝකෝ) පොලිස් සැරයන් (29541) සුනිල්ගේ ඩී.එන්.ඒ. සමග සැසඳෙන බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මෙම ආගන්තුක ජෛව සාම්පලය හඳුනා ගැනීම සඳහා මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරෙකු වන බ්‍රයන් තෝමස්, කොළඹ ජාතික රෝහලේදී දිනේෂ් ෂාෆ්ටර්ට ප්‍රතිකාර කළ හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්, පොලිස් නිලධාරීන් ඇතුළු 27 දෙනකුගේ රුධිර සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණි.

ඒ අතරින් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී සුනිල්ගේ රුධිර සාම්පල සමග එම ආගන්තුක ජෛව සාම්පලය සැසඳෙන බව රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර තිබුණි.

මෙම විමර්ශනයට අදාළව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මවගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. අණු කොටස් ප්‍රමාණවත් නොවන බැවින්, නැවත මවගෙන් ඩී.එන්.ඒ. ලබා ගැනීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් අදාළ ඩී.එන්.ඒ. පිළිබඳ බොරැල්ල ජින්ටෙක් ආයතනය හරහා පරීක්ෂණ කරන ලෙසද ඉල්ලා සිටියේය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් භාවිත කරන ලද ජංගම දුරකථනයේ දත්ත ගබඩා කර ගැනීමෙන් අනතුරුව එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට භාර දුන්නේය.

එම දුරකථනයේ දත්ත පරිශිලනය කිරීමට අවශ්‍ය නම් දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයාට හෝ බිරිඳට ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කළ හැකි බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. 

අදාළ නඩුව ලබන ජූලි 11 වැනිදා කැඳවීමට නියමිතය.

සබැදි පුවත්

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පර බව ෂාෆ්ටර්ගේ ඥාතීන් කියයි

ෂාෆ්ටර්ගේ නඩු භාණ්ඩවල ආගන්තුක DNA සාම්පලයක්!

ෂාෆ්ටර්ග‍ේ මිතුරන්ග‍ේ බඩු 20ක් රජය‍ේ රස පරීක්ෂකට!

ෂාෆ්ටර්ගේ මරණයට තවත් 10යකගේ DNA ගනියි!

ෂාෆ්ටර් ගේ දේහය ගොඩගනියි ; අධිකරණ නියෝගයක් කඩ වෙලාද?

බොරැල්ලේ පොලිසියට ෂාෆ්ටර්ගේ මිනීවලට ආරක්ෂාව දෙන්න වෙයි!

ෂාෆ්ටර් ගේ දේහය යළි ගොඩගැනීමට ඉල්ලීමක්

ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න පංච පුද්ගල වෛද්‍ය මඩුල්ලක්!

පුවත්

යාපනේදී පොලිසියට ගල් ගහලා, පොලිසිය වෙඩි තියලා

Published

on

By

යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතිබවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අද (20) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව පොලීසිය එහි යනවිටත් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරු පැදියක් ගිනි තබා තිබුණි.

එහිදී පොලීසියටද ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇත.

පොලීසියට අනාවරණ වී ඇත්තේ කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් අද යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

රවී හා ශානි නැවත පත්කරන්න කියල කාදිනල් කිව්වෙ නැතිලු!

Published

on

By

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන කළ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නම් කර ඔවුන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් නොකළ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාරුකළ එවැනි නිලධාරීන් සමූහය තනතුරුවලට නැවත පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අද (20) පැවසූහ.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූහ.

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන නිසියාකාරව කිරීම සඳහා එම ප්‍රහාර පිළිබඳව දැනුම තිබූ පරණ හිටපු නිලධාරීන් නැවත තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලිමක් කළ බවත් කාදිනල්වහන්සේ නිලධාරීන් නම් කර කිසිම රජයකට ඉල්ලිමක් හෝ බලපෑමක් නොකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ගෝඨාභය ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රාශියක් මාරු කළ බවත් ඒ අනුව අලුතින් පත්වූ නිලධාරීන් සතුව විමර්ශන කිරීමට තොරතුරු නොමැතිවීම නිසා විමර්ශනයට අසාධාරයක් වීම නිසා එම ඉල්ලීම කළ බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කීහ.

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහත්මයා ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණයත් නොවන අතර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු බවත් ඔහුට විරුද්ධව නඩු පවරන ලෙස ජනාධිපතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් සහ සී.අයි.ඩී. භාර ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා පැවසූහ.

නිලන්ත ජයවර්ධන මහත්මයා ‘පාස්කු’ බෝම්බ ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බවත් එවකට ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහත්මයා ආරක්‍ෂක අමාතයවරයෙක් හෝ පත්නොකර සිංප්පූරුව බලා යද්දී බෝම්බ ප්‍රහාර පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම විශාල වගකීමක් පැහැරහැරීමක් බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

එම වැරදට නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වසර හයක් තිස්සේ රජයන් තුනකින් ඉල්ලීම් කළ ද එම රජයන් තුනම එය පැහැරහැරි බව කී ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ එම ඉල්ලීම පැහැරීමට අමතරව එවැනි ආකාරයේ චෝනාවක් තිබෙන නිලන්ත ජයවර්ධන වසර හයක් තිස්සේ එම තනතුරේ තියාගෙන සිටි බවත්ය.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

නුවර සැලුන්එකදී දුමක් වැදී කතුන් හතක් සිහිනැති වෙයි!

Published

on

By

මහනුවර පේරාදෙණිය පාරේ රූපලාවන්‍යාගාරයක් තුළ සිහි විසඥ වී වැටීසිටි තරුණියන් හත් දෙනකු රෝහල් ගත කළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

එම රූපාලාවන්‍යාගාරය ඇතුළු අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ සිට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදුව තිබූ බැවින් එම රූපලාවණ්‍යාගාරය තුළ තිබූ කිලෝ වොට් 15ක විදුලි උත්පාදක යන්ත්‍රයක් භාවිත කරමින් වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මක වෙමින් තිබියදී එම වායු සමීකරණ යන්ත්‍ර තුළින් විෂ වායුවක් ඇතුළු වී එම තරුණියන් සිහි විසඥ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

ගොඩනැගිල්ලක පහත මාලයේ නිසි පරිදි වායු සංසරණයක් සිදු නොවන ස්ථානයක තරුණියන්ගේ සම සුදු කිරීමේ රූපලාවන්‍යාගාරයක් තුළ මෙම අනතුර සිදුව තිබේ.

රූපලාවන්‍යාගාරය පිටත තරුණියක වැටී සිටින අහම්බෙන් දුටු පුද්ගලයකු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම තරුණියන් වහාම රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එසේ සිහි නොමැතිව වැටී සිටි තරුණියන් පස් දෙ‍ෙකු මහනුවර ජාතික රෝහලට ද තවත් දෙදෙකු පෞද්ගලික රෝහලකටද ඇතුළත් කොට තිබේ.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved