Connect with us

පුවත්

සංජීව ඝාතනයේ වෙඩික්කරු සියල්ල පාපොච්චාරණය කරයි

Published

on

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

එමෙන්ම ඝාතනය සිදු කිරීමට පෙර, දින කිහිපයක් වෙඩික්කරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පෙර සූදානමක් සිදුකර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළි වී ඇත.

වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් ගණේමුල්ල සංජීව ඝාතනය කළ බවයි.

රුපියල් කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය සිදුකළ බවත්, සති දෙකකට වතාවක් රුපියල් ලක්ෂ 2 බැගින් තමන්ට වේතනයක් ලෙස අදාළ අපරාධකරුවන් ගෙවූ බවත් විමර්ශන නිලධාරීන් හමුවේ වෙඩික්කරු පවසා තිබේ.

උසාවි භූමිය තුළදී අදාළ කාන්තාව තමන්ට ගිනි අවිය ලබාදුන් පසු එය ඉණෙහි සඟවාගෙන ගොස් වෙඩි තැබීම සිදුකළ බවත් ඔහු පවසා ඇති බවයි වාර්තා වේ.

එම කාන්තාව තමන් මින් පෙර සිට හඳුනන බවත්, ඒ අනුව ඇය සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත් ඔහු පවසා ඇත.

විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු තවදුරටත් පාපොච්ඡාරණය කර ඇත්තේ, වෙඩි තැබීමෙන් පසුව තමන් කූලී රථ යෙදුමක් මගින් කුලී රථයක් ගෙන්වා ගෙන අධිකරණය අසල සිට මීගමුවට නුදුරු ප්‍රදේශයකට ගිය බවය.

තමන් රැගෙන යෑමට මෝටර් රථයක් ඇති බව පැවසූවද එය අදාළ ස්ථානයේ නොතිබීම නිසා එලෙස සිදුකළ බව වෙඩික්කරු පවසා තිබේ.

අනතුරුව තමන් ගිනි අවිය රැගෙන ආ කාන්තාව සමග වෙළෙඳසැලකට ගොස් ඇඳුම් මිලදී ගත් බවයි ඔහු පවසා ඇත.

පසුව මීගමුවට නුදුරු ප්‍රදේශයක සිට කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් කල්පිටියට ගොස් ඉන්දියාවට පළායෑමට සූදානම් වූ බව ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ.

එසේම වෙඩික්කරු අනාවරණ කර ඇත්තේ තමන් සතුව තිබූ ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් සියල්ල සකස් කර දෙනු ලැබුවේ අවිශ්ක නම් අපරාධකරු විසින් බවය.

එමෙන්ම ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතනය තමන් විසින් සිදුකළ බවද ඔහු මෙහිදී අනාවරණ කර ඇති බව වාර්තා වේ.

ගනේමුල්ල සංජීව නැමැත්තාව ඊයේ (20) උදෑසන අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනයට ලක්විය.

ඒ ඔහුට විරුද්ධව පැවැති නඩු තුනක් සඳහා ඉදිරිපත් කිරීමට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන ආ ආවස්ථාවේදීය.

විශේෂ ගණයේ අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ නඩු කටයුත්ත අලුත්කඩේ අංක 5 අධිකරණය තුළ කැඳවන අවස්ථාවේදී එහි සිටි සෙසු පිරිස ඉන් ඉවත්කර දොරවල් වසා ඇත.

ඒ අතරවාරයේ නීතීඥයකු වෙසින් එහි රැඳී සිටි වෙඩික්කරු විත්ති කූඩුව අසළට පැමිණ වෙඩි තැබීම සිදුකර ගිනි අවිය බිම දමා වසා තිබූ දොරවල් විවෘත කර ඉන් පිටතට දිව ගිය බවයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේ ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාවට පැමිණ, අදාළ දොරටුව අසල සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ”අන්න ඇතුළේ වෙඩි තියනවා” යනුවෙන් පවසා වෙඩික්කරු දිව ගොස් තිබේ.

වෙඩිකකරු පිළිබඳ ආරම්භකළ විමර්ශනවලට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම හා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී ඔහු වෑන් රථයකින් පුත්තලම දෙසට ගමන් කරමින් සිටින අතරවාරයේදී අත්අඩංගුවට පත්විය.

එහිදී සුදු පැහැති වෑන් රථයක් නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ සීසිටීවී දර්ශනවලට සමාන රුවක් සහිත පුද්ගලයෙකුගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු අදාළ වෙඩික්කරු බවට අනාවරණ කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු සමිදු දිල්ශාන් පියුමංග කඳනාරච්චි නම් මහරගම, දඹහේන පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්ය.

ඔහුගේ ගමන් මල්ලේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද පොලීසිය විසින් සොයාගනු ලැබීය.

එමෙන්ම ඔහු ගමන්ගත් වෑන් රථයේ රියදුරු ගොඩැල්ලහේන, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන හෙවත් බබා නම් 44 හැවිරිදි අයෙක්.

ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ අදාළ පුද්ගලයාවද මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව වෙඩික්කරු ඇඳ සිටි නීති ඇඳුම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, එම ඇඳුම් අඩංගු බෑගය කොච්චිකඩේ, රිදීවැල්ල මාර්ගයේ දමා ගිය බවය.

ඒ අනුව ඒවාද පොලීසිය විසින් සොයාගනු ලැබීය.

(අරුණ)

කැබිනට් තීරණ

ඌරන්ට කාර්ය සාධක බලකායක්

Published

on

By

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ දී අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර පසුව එය සෙසු පළාත්වලට ව්‍යාප්ත වුණි.

මෙම රෝගය හේතුවෙන් ආසාදිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී.

මේ වනවිට වාර්තා වී ඇති දත්ත අනුව සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර, ඌරන් 61,695ක් මරණයට පත්ව ඇත.

එමෙන්ම මෙම රෝගය වනාන්තර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදනය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

මේ වනවිටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරස පරිසරය තුළ සංසරණය වීම හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයට පත්ව ඇතැයි රජය සඳහන් කරයි.

එබැවින් සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිලේක ලේකම්ගේ සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ නියෝජනයෙන් සමන්විතව කාර්ය සාධක බළකායක් පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

පුවත්

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

Published

on

By

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද දින නියම කළේ ය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු ම 29 වනදා කැඳවීමට දින නියම කළේ ය.

2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ  විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පහක් ගොනු කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved