Connect with us

පුවත්

සංවිධානාත්මක අපරාධ කල්ලියක් ගෙන්වූ කන්ටේනර් 3ක් රේගු අත්අඩංගුවට

Published

on

රේගුවට ව්‍යාජ ප්‍රකාශ කර සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙරටට ආනයනය කරන ලද බහලුම් තුනක තිබී රුපියල් මිලියන 120 කට අධික ආහාර ද්‍රව්‍ය, රූපලාවණ්‍ය ආලේපන ඇතුළු භාණ්ඩ විශාල තොගයක් රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය භාරයට ගෙන ඇත.

ඩුබායි සිට මෙරටට ආනයනය කරන ලද මෙම බහලුම් තුන තුළ තිබී රුපියල් මිලියන 120 කට අධික වටිනාකමකින් යුතු කහ, ඉඟුරු, කෝපි, කජු ඇතුළු ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලික භාණ්ඩ නිෂ්කාශන ආයතනයකදී සොයාගෙන තිබේ.

මෙම භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා, රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වී ඇත.

මෙම භාණ්ඩ අතර රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සබන්, චොකලට්, ඇඳුම්, සපත්තු ආදියද විය. 

කාඩ්බෝඩ් පෙට්ටි තුළ කජු, කෝපි ඇට ආදීය අසුරා ඒවා නොපෙනෙන ලෙස රූපලාවණ්‍ය ද්‍රව්‍ය අසුරා තිබුණි.

දැනට විවෘත කරන ලද බහලුම්වල කහ මෙට්‍රික් ටොන් හයක තොගයක්ද, ඉඟුරු මෙට්‍රික් ටොන් තුනක්ද, කජු මෙට්‍රික් ටොන් තුනක් සහ කෝපි ඇට මෙට්‍රික් ටොන් එකහමාරක්ද තිබී ඇත.

මෙම ආහාර ද්‍රව්‍ය ආනයනය කර ඇත්තේ ශාක නිරෝධායන අංශයේ අනුමැතියකින් තොරව බවත්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආනයනයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබාගත යුතු වුවත් රුපියල් මිලියන ගණනක් වටිනා මෙම රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආනයනයේදී එම අනුමැතියද ලබාගෙන තොතිබුණි.

මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට නොගත්තේ නම් රජයට අහිමිවන තීරු බද්ද රුපියල් මිලියන 120 කට අධික බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම භාණ්ඩ සහිත පාර්සල්වල හිමිකරුවන් ලෙස යොදා තිබූ ලිපිනයන් ව්‍යාජ ඒවා බවද රේගු පරීක්ෂණවලදී තහවුරුවී තිබේ.

මෙම ජාවාරමට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කටයුතු කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

‌මෙවැනි ගමන් බඩු නිෂ්කාශනය කරන ආයතන හතක් පමණ කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක බවත්, මෙම සංවිධානාත්මක කල්ලි මෙම ආයතනවලට සම්බන්ධ වී සිටින බවත් ඔහු පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද කහ සහ ඉඟුරු තොග ජාතික ශාක නිරෝධායන සේවයේ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු, සතොස ආයතනය හරහා මහජනතාවට අලෙවි කිරීමට කටයුතු කරන බවත්, ඇඳුම්, සපත්තු ආදිය ටෙන්ඩර් කර අලෙවි කරන බවත් රේගුව කියයි.

එමෙන්ම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය රහිතව ආනයනය කරන ලද සබන් ඇතුළු රූපලාවණ්‍ය ආලේපන විනාශ කිරීමට කටයුතු කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved