Connect with us

පුවත්

සංවිධානාත්මක මෝටර් රථ ජාවාරමේ පරීක්ෂණ CIDය යටතට

Published

on

සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ 430ක් පමණ ව්‍යාජ ලෙස පැරණි හා අබිලි වාහන අංකවලට ලියාපදිංචි කරමින් සිදුකළ සංවිධානාත්මක ජාවාරමක් සම්බන්ධයෙන් මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් විමර්ශනය කර තිබේ.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන්ගේ ද සහාය ඇතිව සිදුකෙරුනු මෙම ජාවරම මගින් මෙරටට බදු මුදල් විශාල වශයෙන් අහිමි වී ඇති බවද පැවසේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් සිදුවූ මෙම පරීක්ෂණය පොලිස්පතිගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (22) භාරගනු ලැබීය.

ඊට හේතුවන වන්නේ මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට දෛනිකව සිදු කිරීමට ඇති විමර්ශන ප්‍රමාණය අධික වීම හේතුවෙන් හා  වාහන සම්බන්ධයෙන් වූ විමර්ශනය වෙනුවෙන් පමණක් වෙන් කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් මණ්ඩලයක් නොමැති බැවිනි.

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු මෙසේද පැවසීය : “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි විමර්ශන පැවැත්වීමට පහසුකම් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම තමයි එම විමර්ශන කටයුත්තට වෙනම නිලධාරීන් කණ්ඩායමක් වෙන් කරන්නත් පුළුවන්. පොලිස්පතිවරයා මේ ගැනත් කල්පනා කරලයි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීල තියෙන්නේ. අනික මෙම අපරාධය සුළුවෙන් තැකිය හැකි එකක්ද නෙමෙයි.“

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05 දෙනකු සම්බන්ධයෙන් තොරතුරුද මෙතෙක් සිදුකර තිබු විමර්ශන වලින් අනාවරණය වී ඇත. එසේම එම දෙපාර්තමේන්තු ලේඛණාගාරයේ සේවයේ නිරත ලිපිකරුවකු පරිහරණය කරමින් තිබු ව්‍යාජ ලෙස ලියාපදිංචි කල සුඛෝපභෝගී ජීප් රථයක් ද මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය සිය භාරයට ගෙන තිබුණු අතර, ඔහුට එරෙහිව නිසි පියවර ගන්නා බවද ඇතැයිද පැවසේ.

තවද, ව්‍යාජ ලේඛණ යොදා ගනිමින් ලියාපදිංචි කළ වාහන 430ක් ඇතුළත් ලැයිස්තුවද මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය මඟින් සොයාගෙන තිබිණි. 

එම වාහන පරිහරණය කරන අය අතර රජයේ ඉහළ නිලධාරීන්, පොලිස් නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන් ද සිටින බවද පැවසේ.

එම වාහන 430 පිළිබඳව සොයා ඒ ගැන ඉදිරි විමර්ශන කටයුතු පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු බව තවදුරටත් පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved