ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.
මේ සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයට ආරාධනා කළද, සමුළුව සම්බන්ධයෙන් කිසිදු න්‍යාය පත්‍රයක් යොමු කර නොමැති බවද කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා කළ ආරාධනාවට ගරු කිරීමක් ලෙස සර්වපාක්ෂික සමුළුවට සහභාගි වී එහි යෝජනා පිළිබඳ විමසා බලා සමගි ජන බලවේගයේ ප්‍රතිචාර දක්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට කලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ මෙම සමුළුවට සහභාගී නොවන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයේ දී හෙට මෙම සර්ව පාර්ශ්වික සමුළුව පැවැත්වීමට නියමිතය.