Connect with us

පුවත්

සජබ හා ජවිපෙට ආණ්ඩුව හා ගිවිසුමකට එන්නැයි ජනපති ඉල්ලයි

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය. 

සාම්ප්‍රදායික දේශපාලනයේ කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන විරුද්ධ වී එය කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 2022 වසරේ රට පැවති තත්ත්වයට නැවත ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවද ජනපති අවධාරණය කළේය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට අද (01) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමිනි.

“යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම මැයි දින රැළියට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකයන් අති විශාල පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරමින් මැයි දින රැළියට එක්වීම ද විශේෂත්වයකි.

රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය අවසන් බව පවසමින්, එය වළදැමීමට ඇතැමුන් සූදානම් වුවත් වළදැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වූ බවයි.

අද රට පුරා පැවැත්වෙන මැයි දින රැළි වලින් පෙනී යන්නේ රට තුළ තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාය සහ ආර්ථික පිබිඳීම බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එදා ගාලු මුවදොර පිටියෙන් එළවා දැමු විපක්ෂනායකයාට අද සිය පක්ෂයේ මැයි දින රැළිය චැතැම් වීදියට පැමිණ පැවැත්වීමට හැකි වාතාවරණයක් තමා නිර්මාණය කර තිබෙන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශක්තිමත් අපනයන ආර්ථිකයක් රට තුළ ඇති කර තරුණ තරුණියන්ට හොද අනාගතයක් ලබා දෙන සැලැස්මක් ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. 

“පළමුවෙන්ම මෙම මැයි දින රැළියට පැමිණි ඔබ සියලුදෙනාටම මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. ඇතැමුන් සිතුවා එක්සත් ජාතික පක්ෂය අවසන් කියලා. පක්ෂය වළදමන්න ඕන කිව්වා. නමුත් වැළලෙන්න ගිය රටේ ආර්ථිකයට නව පණක් ලබාදීමට අපට සිදු වුණා. 1956 වසරේදී කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මිනි පෙට්ටියේ අන්තිම ඇණේ ගැහුවා කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් වුණා. 

1970 වසරේ කිව්වා එක්සත් ජාතික පක්ෂය මෙතනින් අවසන් කියලා. නමුත් ඉන්පසුව අපි වසර 17ක් ආණ්ඩුව ගෙන ගියා. අද එක්සත් ජාතික පක්ෂය අවසන් බව පැවසූවත් එක්සත් ජාතික පක්ෂය රට ගොඩගැනීමට ඉදිරියට පැමිණියා. 

ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොදම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න. එම රැස්වීම උදේ වරුවේ පැවැත්වුයේ නැහැ සන්ධ්‍යාවේ පැවැත්වුවා. ඒ වගේම හොඳ නැකතක් ගත්තා ලංකාවට නිදහස ලබා දෙන්න. හොදම නැකත තිබෙන්නේ රටට සහ එක්සත් ජාතික පක්ෂයටයි කියලා මතක තබා ගන්න. ඒ නිසයි වැටුණු රට ඔසවා තැබීමට අපට හැකි වුණේ. 

මම අද දැක්කා සෑම පක්ෂයකින්ම කටවුට් ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙයින් පෙනෙන්නේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයයි. අද කොළඹ නගරය වටේම මැයි දින පෙළපාළි පැවැත්වෙනවා. කැම්බල් පිටියේ පොදුජන පෙරමුණ, චැතැම් වීදියේ සමගි ජන බලවේගය, තලවකැලේ දිගම්බරන්, කොටගල ලංකා කම්කරු කොංග්‍රසය, යාපනයේ ජනතා විමුක්ති පෙරමුණ මේ සියලුදෙනා අද මැයි දින රැළි පවත්වනවා. 

මෙයයි ප්‍රජාතන්ත්‍රවාදය. ඇතැම් අය කියනවා මම ඒකාධිපතියෙක් කියලා. නමුත් අද මහ පාරේ රැස්වීම් පැවැත්විය හැකියි. ඕනෑම අයෙකුට මාව විවේචනය කරන්න පුළුවන්. මේ වාතාවරණය මීට වසර දෙකකට පෙර මේ රටේ තිබුණේ නැහැ. එදා විපක්ෂ නායකතුමාට පහර දී ගෝල් ෆේස් පිටියෙන් පන්නා දැමුවා. නමුත් අද එතුමාට තම මැයි දින රැළිය චැතැම් වීදියේ පැවැත්වීමට අප ඉඩ ලබා දී තිබෙනවා. මෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. 

මම අග්‍රාමාත්‍ය ධූරයට සහ ජනාධිපති ධූරයට පත් වුණේ මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටුණ නිසයි. සාමාන්‍යයෙන් සෑම රටකම අගමැතිවරයා ඉවත් වූ විට විපක්ෂනායකවරයා ඒ සඳහා පත් වෙනවා. නමුත් අපේ රටේ විපක්ෂනායකවරයා විතරක් නෙවෙයි අනෙක් හැම පක්ෂයක්ම පැනලා ගියා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණ පොදු ජන පෙරමුණ ප්‍රකාශ කළා තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිගන්නා ඕනෑම අයෙකුට සහාය ලබා දෙනවා කියලා. 

පළමුවෙන්ම ඇහුවේ විපක්ෂනායකතුමාගෙන්. නමුත් ඔහු සොයා ගන්නවත් හිටියේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වුණෙත් නැහැ. අවසානයේ තනි මන්ත්‍රීවරයෙක් සිටින පක්ෂයක නායකයා වූ මට රට භාර ගැනීමට සිදු වුණා. කිසිදවසක එක්සත් ජාතික පක්ෂය අභියෝගවලින් පැනලා ගියේ නැහැ. ඇතැම් අය කිව්වා මේක භාර ගන්න එපා කියලා. නමුත් අප සියලුදෙනා එකතුවෙලා ඉදිරියට ගියා. 

එදා ජනාධිපතිවරයා ඉවත්වූ පසුව පාර්ලිමේන්තුවත් අල්ලගන්න ආවා. එවිට පාර්ලිමේන්තුවේ සිටි සියලුදෙනා පැනලා ගියා. හමුදාපතිවරයා මගෙන් ඇහුවා මොකක්ද කරන්නේ කියලා. මම ඇහුවා පක්ෂ නායක රැස්වීමට මොකද වුණේ කියලා. සර් ඔක්කොම ගියා කියලා කිව්වා. මම කිව්වා එහෙනම් ඔයා ගිහින් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න ඒක ඔයාගේ වගකීම කියලා. 

එදා පැනලා ගිය අය අද කොහොමද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන්නේ. ඔය කණ්ඩායම සිටියා නම් අද රට තිබෙන තත්ත්වය හිතන්න පුළුවන්ද. අද සෑම තැනකම මැයි දින රැළි පැවැත්වෙනවා. බස්වලින් සෙනඟ එනවා. මීට වසර දෙකකට පෙර බස් ධාවනය කිරීමට ඉන්ධන තිබුණේ නැහැ. දැන් බස් අරගෙන ඕන තැනකට එනවා. තවමත් රට පුරා සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව පැවැත්වෙනවා. අපි කොච්චර හොදට අවුරුදු සැමරුවද, දැන් මැයි දිනය සමරනවා. තවත් සති තුනකින් වෙසක් සැමරුමට සැරසෙනවා. එවිට නැවත කොළඹ ජනතාවගෙන් පිරී යනවා. ඉන් පසුව නුවර පෙරහර නැරඹීමට යනවා. ඒ වගේම නල්ලූර් පෙරහර නැරඹීමට සහ දෙවිනුවර පෙරහර නැරඹීමට යනවා. මේ පසුබිම නිර්මාණය වුණේ අපි නිර්භීතව මේ ආණ්ඩුව ඉදිරියට ගෙන ආ නිසයි. 

මේ සඳහා අපට උපකාර කළ සියලු පක්ෂවලට මම ස්තූත්වන්ත වෙනවා. පොහොට්ටුවෙන් කොටසක් පැමිණියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් පැමිණියා. ඩග්ලස් දේවානන්ද මහතා පැමිණියා. ලංකා කම්කරු කොංග්‍රසය පැමිණියා. මෙලෙස කණ්ඩයම් ගණනාවක් අපත් සමඟ එකතු වුණා. පක්ෂ ලේබලයක් නැහැ කොටස් වශයෙන් තිබුණා. පොහොට්ටුවෙන් කොටසක් අපත් සමඟ එක්වන විට තවත් කොටසක් සට්ටම්බිරාළ සමග සමගි ජන බලවේගයට ගියා. අපි මෙම තත්ත්වයට පැමිණ තිබෙන්නේ ඉතා අසීරුවෙන්. එදා කිසිවෙක් සිතුවේ නැහැ මේ තීරණ සාර්ථක වෙයි කියලා. ඒ වගේම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි තීරණ ගැනීමට සිදු වුණා. අසීරුවෙන් වුවත් එම තීරණ ගනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී අපට දැනුම් දුන්නා අලුතින් මුදල් මුද්‍රණය කළ නොහැකි බව. 

ඒ වගේම රාජ්‍ය බැංකුවලින් ණය ගත නොහැකි බවත් රජය විසින් අදායම් උපයා ගත යුතු බවත් ඔවුන් දැනුම් දී සිටියා. රුපියල ශක්තිමත් කිරීම සඳහා අපට බදු වැඩි කිරීමට සිදු වුණා. අසීරුවෙන් වුවත් අපි එම තීරණය ගත්තා. එම තීරණ ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය මොනතරම් දේවල් කිව්වද? නමුත් අද රටේ තිබෙන තත්ත්වය කුමක්ද? අද රුපියල ශක්තිමත් වෙලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල 280ට පමණ පත්වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත්වීම සමඟ ජනතාවගේ අතේ තිබෙන මුදල්වල වටිනාකම වැඩි වෙනවා. මේ වන විට විවිධ රටවලින් අපේ රටට සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. ඒ වගේම පසුගිය යල මහ කන්න වලදී අපට හොද අස්වැන්නක් ලැබුණා. 

ඒ වගේම කර්මාන්ත නැවත නැගී එමින් තිබෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීමට පාරටේ නීතිය වසරකට නතර කිරීමට මා පියවර ගත්තා. ඒ වගේම එම කර්මාන්තවල ආරක්ෂාව සඳහා වෙනම අංශයක් ආරම්භ කිරීමට ද නියමිතයි. එසේනම් අද අප සිටින තත්ත්වයට පැමිණියේ ඉතා අසීරුවෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමෙන් එය ආරක්ෂා කර තිබෙනවා. එසේනම් අප මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවද, නැත්නම් 2022 වසරේ තිබු තත්ත්වයට නැවත රට පත් කරනවද යන්න තීන්දු කළ යුතුයි. මම සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙක් පක්ෂවලට කියනවා මේ වැඩපිළිවෙළට විරුද්ධව කටයුතු කරන්න එපා කියලා. ඒ වගේම මෙය කඩාකප්පල් කරන්න එපා කියලා. 

ජනතාව ගැන සිතා මේ තත්ත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට පැමිණෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. අප සියලුදෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි. 2003 දී මම ටෝකියෝ සම්මේලයට ගිහින් ඩොලර් බිලියන 03ක් ලංකාවට ගෙනාවා. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඩොලර් බිලියනයක් ලබා දුන්නා. 

ඒ ආකාරයට ඩොලර් බිලියන 04ක් ලැබුණා. නමුත් 2004 දී මේ සියල්ල වෙනස් වුණා. ඒ නිසා ඔවුන් ආපසු යන්න ගියා. එම ඩොලර් බිලියන 04 අපට තිබුණා නම් අද එය ඩොලර් බිලියන 10ක් තරම් වටිනවා. 2018 – 2019 වන විට අපට ප්‍රාථමික අය වැයේ අතිරික්තයක් තිබුණා. ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා නම් මෙම ප්‍රශ්නය මතු වන්නේ නැහැ. දැන් නැවත මෙම වැඩපිළිවෙළ වෙනස් කළහොත් යළි අවධානමක් ඇති වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සහ රටේ සීග්‍ර සංවර්ධනයට අවශ්‍ය කොන්දේසි ඇතුළත් කළ නීතියක් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 

ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. කරුණාකර ඊට එකඟ වන ලෙස මම සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා. රටේ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කිරීම පමණක් නොවෙයි, අපි අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් බවට ද පත්විය යුතුයි. මේ රටේ ප්‍රශ්න තවම විසඳී නැහැ. මේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් අසීරුවෙන් ජීවත්වෙනවා. අනිත් ජනතාවටත් ගැටලු තිබෙනවා. වසර 03කින් තරුණ තරුණියන්ට රැකියා ලැබී නැහැ. 

ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය තරමක් කඩා වැටුණා. අපි මේ තරුණ තරුණියන්ට අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. මෙය පැරණි ආර්ථිකයෙන් කරන්න බැහැ. මේ සඳහා ආර්ථිකය විවෘත කර නව ආයෝජන ගෙන ආ යුතුයි. පසුගිය වසර දෙක තුනේදී සමාගම්වල ලාභ අඩු වුණා. මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීම වෙනුවෙන් අපට ඩොලර් බිලියන 04ක්, 05ක් නැවත ලබා ගැනීමට සිදු වෙනවා. අපි ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කර දිය යුතුයි. දිළිදුකම නැති කිරීමට නම් ගමේ ආර්ථිකය නවීකරණය කළයුතුයි. අපි එම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. අපි ජනතාවට ලබාදිය හැකි සහන ලබාදී තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කර තිබෙනවා. එහි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 24ක් බවට පත් කර තිබෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කර තිබෙනවා. 

ඒ සමගම පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් සිදු වී තිබෙනවා. ඒ වගේම වතුකරයේ වැටුප් ද වැඩිකර තිබෙනවා. ඒ වගේම මීට වඩා ශක්තිමත් අපනයනය ආර්ථිකයක් රට තුළ ඇති කර තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබා දෙන සැලැස්මක් මම ඉදිරිපත් කරනවා.

 ඒ නිසා සාම්ප්‍රදායික දේශපාලනයේ නොසිට අපත් සමඟ එකතුවන ලෙස මම ජනතා විමුක්ති පෙරමුණෙන් සහ සමගි ජන බලවේගයෙන් ඉල්ලා සිටිනවා.. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දී මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මම මුළු රටේම සහයෝගය ඉල්ලා සිටිනවා. රටේ තිබෙන ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් නව ආර්ථික පරිවර්තනයක් සිදු කර රට ඉදිරියට ගෙන යාමට ඔබ සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා. “

පුවත්

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading

පුවත්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

Published

on

By

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්ය.

මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර අප්‍රේල් මාසයේ උත්සව සමයේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්ව තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මඟින් පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මැයි මාසය තුළ දී විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved