Connect with us

පුවත්

සජිත්ට නාමල්ට තියෙන එකම සුදුසුකම තාත්තල ජනාධිපති වුණ එක

Published

on

ජාතික ජන බලවේගයේ ගොවිජන රැලිය පසුගියදා (05) නිකවැරටිය ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ, සර්වජන බලය ලැබී බොහෝ කාලයක් ගත වුවද ලංකාව තුළ ලේ උරුමයෙන් දේශපාලන නායකයන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් වී නොමැති බවය.

අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවැත්වූ සම්පූර්ණ කතාව පහතින්,

“කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ හේන් වගා කරන, කුඹුරු වගා කරන දහස් සංඛ්‍යාත ගොවි ජනතාවක් පළමු වතාවට මෙතනට ඇවිත් ඉන්නවා. අපි මේ සිටින්නේ ජනාධිපති මැතිවරණයක අභියස. මැතිවරණ කොමිසමට එළැඹෙන 17දා බලය පැවරෙනවා, ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන දිනය කියන්නත්, ඡන්දය පවත්වන දිනය කියන්නත්. තව තියෙන්නේ මාස දෙකයි එක සතියයි. මේ රටේ ජනතාවට අලුත් පාලනයක් ගොඩනඟා ගැනීමට හොඳ අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මේ ඡන්දය කල් දාගන්න රනිල් වික්‍රමසිංහ විවිධ උප්පරවැට්ටි දැම්මත් ඒ කිසිම දෙයක් කරන්න හැකි වෙන්නේ නැහැ. අද (05දා) එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර කියනවා මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළාලු. ව්‍යවස්ථාවේ එක තැනක පහයි කියා තිබෙනවා තව තැනක හයයි කියා තිබෙනවා. මේ පිළිබඳ පනතක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවයි කියලා. ඒ පනත පාස් කළාම රනිල්ට හයයිලු. පනතක් කැබිනට් මණ්ඩලයේ සම්මත කරන්න ඕනෑ. ඒ පනත සතියකින් ගැසට් කරන්න ඕනෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, සති දෙකක් තියන්න ඕනෑ. ඒකට විරුද්ධව කවුරු හෝ නඩු යනවා නම් තව සති තුනක් දෙන්න ඕනෑ. ඒ ඔක්කෝම ඉවර වෙනකොට ජනාධිපති ඡන්දෙත් ඉවරයි. මේ හදන්නේ සමාජය තුළ ව්‍යාකූලත්වයක් හදන්න. කිසිදු සැකයක් තියා ගන්න එපා, නියත වශයෙන්ම ජනාධිපති ඡන්දය නියමිත දිනයේ පැවැත්වෙනවා.

අද ජනතාවගේ අපේක්ෂාවක් තිබෙනවා වෙනසක් ඕනැයි කියලා. මේ වෙනස මොන වගේ එකක්ද? රනිල් වික්‍රමසිංහට අනුව වෙනස හදන්න ඉන්න ටීම් එක කවුද? රවි කරුණානායක, කප්පම් අරගෙන මහාධිකරණයෙන් වැරදිකරු වී, අවුරුදු හතරකට ඇඟ බැඳපු, කෝටි දෙකහමාරක දඩයක් ගහල, ලක්ෂ විස්සක වන්දියක් නියම කරමින් තීන්දුවක් ලද, පොහොට්ටුවේ ඇමති ගම්පහ ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු, එයාර් පෝර්ට් එකේ සේවකයෙකුගේ කණට ගහපු, ප්‍රසන්න රණවීර, රනිල් වික්‍රමසිංහ හිරේ දාන තෙක් නින්ද යන්නේ නැති බවට ප්‍රකාශයක් කළ මහින්දානන්ද අලුත්ගමගේ, බීල මහ රෑ බන්ධනාගාරයට පැනලා සිරකරුවන් එළියට ඇදලා, දණ ගස්සලා, පිස්තෝල ඔලුවට තියපු හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස වැඩ කළ ලොහාන් රත්වත්තේ, මේ කණ්ඩායම් රටේ දේශපාලන වෙනසක් ඇති කරන්න රනිල් වටා එකතු වෙලා ඉන්නේ. මේ අය වෙනසක් ඇති කරනවාද? දැන් නම්, හරිම සාමකාමියි, ඒ ඡන්ද කාලෙ නිසා. බලය ගත්ත හැටියේ එයාලගේ පරණ දේශපාලනය, පැරණි සතා එළියට එනවා.

සජිත් පේමදාස කොහොම කෙනෙක්ද කියලා එයාගේ පක්ෂයේ සභාපති ෆොන්සේකා මහත්තයා කියනවා. හොරු අල්ලන බලය දෙන්නෙ ෆොන්සේකා මහත්තයාට බව සජිත් පේමදාස කිවුවා. ආණ්ඩු බලය ගන්න කලින් හොරෙක් ඇල්ලුවා. මේ සල්ලි කොහෙන්ද? කැසිනෝකාරයන්ගේ සල්ලි, මේවට වන්දි ගෙවන්න සිදුවෙන බව ෆොන්සේකා මහතා කිවුවා. ඒ වගේ කෙනෙකුට මේ රටේ වෙනසක් කරන්න බැහැ.

මේ රටේ වෙනසක් කරනවා නම්, එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. මොනවාද කළ යුතු වෙනස්කම්. දේශපාලන වෙනස්කම් ඇති කරන්න ඕනෑ. මීට  සියවස් ගණනකට පෙර පාලනය බලය ලැබුණේ ඥාතිත්වයෙන්; ලේ උරුමයෙන්. විසිවන සියවසේ ජනතාවට අවස්ථාවක් උදා වුණා තමන්ගේ පාලකයා ඡන්ද බලයෙන් තෝරා ගන්න. ඡන්ද බලයෙන් පාලකයන් තේරී පත්වුණෙත් ලේ උරුමයෙන් පරම්පරාවෙන් පරම්පරාවට හිටපු ජනාධිපති  මහින්දගේ පුතා නාමල්, හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ පුතා සජිත් පේමදාස අනාගතයේ බලය ලබා ගැනීමේ උත්සාහයෙන් කටයුතු කරනවා. මාරුවෙන් මාරුවට දූෂිත ප්‍රභූ කණ්ඩායමක් අතේ මේ බලය කේන්ද්‍ර ගත වෙන්න පටන් ගත්තා. මේ  පියාගෙන් පුතාට බලය හිමිකර ගැනීම ප්‍රාදේශීයවත් පැතිරී තිබෙනවා. නිදහසෙන් පසු, අපේ රටේ දේශපාලන දේහයම මුල සිට පවුල් අතලොස්සක් වටා කේන්ද්‍රගත වෙලා තිබෙනවා. මේ කණ්ඩායම් පවුල් අතම බලය ලබා ගැනීම වෙනුවෙන් විටෙක සතුරු වශයෙනුත් විටෙක මිතුරන් ලෙසත් පෙළගැසෙනවා. අපි ඔබට කියන්නේ මේ බල හුවමාරුව වෙනස් කරලා ලංකාවේ ඉතිහාසයේ පළමුවැනි වතාවට බලය පොදු ජනතා ව්‍යාපාරයක් අතට මාරුකර ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ අවස්ථාව අපි අත්නොහැරිය යුතුයි.

දැන් පාලකයා බැටළු හම් පොරවාගෙන ඉන්නවා. එයාල අත බලය තියෙනකොට ක්‍රියා කළේ කොහොමද? අරක්කු කම්හල්වලින් ආණ්ඩුවට ගෙවන්න තිබෙන බදු නොගෙවා කල් දමාගන්න බලය උපයෝගී කර ගත්තා. බැසිල් රාජපක්ෂ තමන්ට විරුද්ධව තිබෙන නඩුවලින් නිදහස් වීම සඳහා බලය උපයෝගී කර ගත්තා. ගොවි ජනතාව තමන්ගේ වගාව විනාශ වෙනකොට, පාලකයා කිවුවේ “පොහොර ඇටයක් දෙන්නෑ, ගත්ත පියවර පස්සට ගන්නේ නැහැ” කියලා. මිනිසුන්ට ඇහුම්කන් නොදුන්න පාලකයෝ ඒගොල්ලෝ. එයලා බලය තියෙන කොට පුරවැසියන් බය කළ පාලකයෝ.

එදා නිකවැරටියේ වෙනත් දේශපාලන ව්‍යාපාරයක සාමාන්‍ය කෙනෙක් ක්‍රියාකාරී වෙන්න බයයි. ජොන්ස්ටන්ගේ අණසක. මිනිස්සු ගෑස් සිලින්ඩරය පුපුරලා මැරෙනකොට “සිලින්ඩරයේ ප්‍රශ්නයක් නොවෙයි. ලිපේ ප්‍රශ්නයක්” කියනවා. කිසිදු වටිනාකමක් නැති පොහොර ගේන කොට මාධ්‍ය සාකච්ඡාවක් තියා “බෝම්බ ගහනවා වගේ අස්වැන්න වැඩිවෙනවා” කීවා. එයලා උද්දච්ච ලෙස හැසිරුණු මිනිස්සු. තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ මිනිස්සු මැරෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් පෝලිම් නැතිව තෙල් දුන්නා. අද බැටලු හම් පොරවාගෙන උපාසක ලීලාවෙන් ඉන්නවා. මේ තව මාස දෙකයි. දැන් බඩු මිල, තෙල් මිල අඩුකරන්න ට්‍රයි කරනවා. බණ්ඩි පොහොරත් නිකම් දෙන්න ට්‍රයි කරනවා. හාල් කිලෝ දහය ගානෙ දෙන්නම් කියනවා. කවදා වෙනකම්ද? මේ මාස දෙකයි. බලය ගත්තාට පස්සේ, ජනතාවට එරෙහි පරණ මනස සහිත සත්වයා නැවත නැගිටින්න පටන් ගන්නවා. මේ ඡන්දෙන් පස්සේ ජනතාව පාරට බැහැල පලවා හැරි පාලකයන් යළි  සක්‍රීය වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අනෙක් බෙදීම් සියල්ල පැත්තකින් තියන්න ඕනෑ. ඒ ගොල්ලන් තමන්ගේ ත්‍රාඩ පාලනය වෙනුවෙන් එකතු වෙනවා. අපි පොදු ජනයාගේ යුගය වෙනුවෙන් ශක්තිමත්ව එකතු වෙන්න ඕනැකම තිබෙනවා. මේ සටන අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ හැකි සටනක්.

මේ රට හදන්න ඕනෑ. ඈත ගම්වල පුරවැසියන්ට කන්න නැහැ. බෙහෙතක් හේතක් ගන්න විදිහක් නැහැ. දරුවන්ට උගන්වන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ කියනවා සල්ලි නැහැ කියලා. සල්ලි නැති වුණාට  රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගත්තා මේ මාස දෙකට. මේ මාස දෙකට සංවර්ධන වැඩ කිසිවක් කරන්න බැහැ. වෙන්කර ගත්තේ ඡන්දෙ වැඩ සඳහා. රනිල් වික්‍රමසිංහ රට යන්න අයවැයෙන් සල්ලි වෙන්කර ගත්තා. ඒක මදි කියලා තව කෝටි 20ක් වෙන්කර ගත්තා. අලවතුවල, හර්ෂ ද සිල්වා, මාන්නප්පෙරුම, ගයන්ත, වැනි මන්ත්‍රීවරු 19 දෙනෙකුට භාණ්ඩාගාරෙ සල්ලි කෝටි 120ක් වෙන්කර දුන්නා. හැබැයි ජනතා අවශ්‍යතාවයක් ගැන කිවුවොත් ඒවට සල්ලි නැහැ. අප ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන්, 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් කපනවා. ඇමතිවරුන්ගේ වියදම් අඩු කරනවා.

දේශපාලකයන්ගේ රථ ගාය නතර කරනවා. මහජනයාගේ ධනය නාස්ති කරන්න, මහා පොලිස් බලකායක් එක්ක එන දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. ඇමතිවරයාගේ ගෙදර ලයිට් බිල, වතුර බිල ගෙවන්නේ ආණ්ඩුවෙන්. කෙහෙලිය රඹුක්වැල්ලගේ  ගෙදර ලයිට් බිල එක්ලක්ෂ විසිඑක්දාහයි. ඇමතිවරුන්ගේ ලයිට් බිල් වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන එක නතර කරනවා. ජනතාවට ආහාර, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් ගෙවන්න සෞඛ්‍යය, සහන මිලට ලබාදීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අපි හදනවා. රට හදන්න පටන් ගන්න ඕනැ එතනින්. රනිල් වික්‍රමසිංහ රට හදන්න පටන් ගන්නේ 2048න්. එතකන් කන්නෙ නැතිව, අධ්‍යාපනය, බෙහෙත් නැතිව ඉන්නද? ජනතාවට ආහාර, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී ජීවිතයක් සඳහා සෞඛ්‍යය, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් පළමුකොටම ආරම්භ කරනවා.

අපි ආර්ථිකය ගොඩනඟන්න ඕනෑ. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන යන්න ඕනෑ. අද රනිල් වික්‍රමසිංහ කියනවා දත්ත ඇතුලේ, ප්‍රස්ථාර පෙන්නලා ආර්ථිකය හොඳයි කියනවා. ආර්ථිකය හොඳයි. නමුත් ජනතාවට කන්න නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධනය නියෝජනය කරන්නේ ජනතාවගේ ජන ජීවිතයත් උසස් කරමින්, ඉදිරියට යන ආර්ථික සංවර්ධන මාවතයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් තිබුණා. ඒ ලැබෙන වැටුප ජීවිතය පවත්වාගෙන යන්න ප්‍රමාණවත් නැහැ. සාධාරණ වැටුපක් ලැබෙන්නේ නැතිනම්, එම ආර්ථික සංවර්ධනයෙන් ඵලක් තිබෙනවාද? මේ ප්‍රශ්න ආරම්භයේදීම විසඳන්න ඕනෑ.

ඊළඟට ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ක්‍රමානුකූලව සැලසුම හදන්න ඕනෑ. එතනදි කෘෂිකර්මාන්තයට වැදගත්ම තැනක් හිමිවෙනවා. ලෝකෙට කොවිඩ් ආවට පස්සේ නැව් ගමනාගමනය, ගුවන් ගමනය මුළුමනින්ම නතර වුණා. මේ වෙලාවේ ලෝකයේ රාජ්‍යයන් තේරුම් ගත්තා, තවදුරටත් තමන්ට අවශ්‍ය ආහාර තමන් නිපදවා ගත්තේ නැති නම් අනාරක්ෂිතයි කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත් ජනතාවට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනයට මූලිකත්වය දෙනවා. කෘෂි ආහාර නිෂ්පාදනය, මත්ස්‍ය නිෂ්පාදනය, මස්, කිරි නිෂ්පාදනය ඒ ඒ ක්ෂේත්‍ර මගින් නිෂ්පාදනය කිරීමට සැලසුම් සකස් කොට තිබෙනවා. ලෝකයේ සෑම රටකම කෘෂිකර්මාන්තය දුවන්නේ සහනාධාර මතයි. ලංකාවේ අර්තාපල් හොණ්ඩරයක් හිටෙව්වොත් නිෂ්පාදනය එකට අටයි. ඉන්දියාවේ අර්තාපල් හොණ්ඩරයක් හිටෙව්වොත් එකට විසිඅටයි. ඉන්දියාවේ අර්තාපල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන පිරිවැය අඩුයි. ඒ නිසා ඉන්දියාවේ හදන අර්තාපල් ලංකාවේ අර්තාපල්වලට වඩා මිල අඩුයි.

ජාතික ජන බලවේගයේ අපි නව බීජ පර්යේෂණ සහ නව වගා සැලසුම් මගින් නාස්තිය වළක්වා, නිෂ්පාදන වියදම අඩු කොට ඵලදායිතාව වැඩිකරන නව කෘෂිකර්මාන්තයකට අපේ රට පරිවර්තනය කරනවා. නව කෘෂිකාර්මික යුගයක් අපි නිර්මාණය කරනවා. අද අපේ ගොවියාගෙ ජීවිතයත් පාරිභෝගිකයාගේ ජීවිතත් අමාරුයි. ගොවි ජනතාව ණය උගුලක හිරවෙලා ඉන්නවා. යායෙ කුඹුරෙ කන්නෙ වී පැහෙන කොට ගොවියා ඒක කමතෙ ඉඳන්ම විකූණනවා. අතට ගන්න මුදලෙන් ණය ගෙව්වාම ඉතිරි කාලය ජීවිතය ගෙවා ගන්න අමාරුයි. ගොවියා සිරවී තිබෙණ ණය උගුලෙන් බේරා ගන්න සැලැස්මක් ජාතික ජන බලවේගය හදනවා. ලෝකයේ කෘෂිකර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු වූ හැම රටකම සංවර්ධන බැංකුවක් තිබෙනවා. අඩු පොලී අනුපාතයකට, ඇපකරයක් නැති, දේපළක් ඇප නැති නව ණය යෝජනා ක්‍රමයක් ජාතික ජන බලවේගයේ අපි හදනවා. මේ ගොවි ජනතාව සිරවී සිටින ණය උගුලෙන් මුදා ගන්නේ නැතිව ඒ ගොල්ලන්ට ආර්ථිකයේ සුරක්ෂිතභාවයක්  ඇති කරන්න බැහැ. පෞරුෂයක් සහිත, ආර්ථික ආදායමක් සහිත, මානසික නිදහසක් සහිත, ගොවි පරම්පරාවක් හදන්නේ නැතිව ගොවියගේ ජීවිත උසස් කරන්න බැහැ, කෘෂිකර්මාන්තය දියුණු කරන්නත් බැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු ආර්ථික ප්‍රතිලාභ පමණක් නොවෙයි, කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට තමන්ගේ ජීවිතය සාර්ථකව ගෙනයාම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන අණ්ඩුවක්.

එපමණක් නොවෙයි, ග්‍රාමීය දුප්පත්භාවය විශාල ප්‍රශ්නයක්. පරම්පරාවෙන් පරම්පරාවට දුප්පත්භාවය එනවා. ගෘහ මූලිකයා හදිසියේ අසනීප වීමෙන්, ගංවතුර, නාය යෑම් නිසා කුඹුරු දේපළ විනාශ වීමෙන්, හදිසි තත්වයන් ඇති වීමෙන් දුප්පත්භාවය පෝෂණය වෙනවා. වගා කරන්න කුඹුරක් හෝ හේනක් නැතිවෙනවා. කුඹුරක් තිබුණත් වගා කරන්න ධනයක් නැහැ. එවිටත් දුප්පත්භාවය ඇති වෙනවා. දුප්පත්භාවය විසින් දරුවාට අධ්‍යාපනය අහිමි කිරීම,  අපරාධවලට ගොදුරු වීම සිදුවෙනවා. සමාජයේ කොන්වීමට භාජනය කරනවා. මාරාන්තික මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. පවුල් කඩාකප්පල් වෙනවා. දරුවන් අනාථ වෙනවා. කණ්ඩ බොන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්භාවය සමාජ ඛේදවාචකයක්. අපි දුප්පත්කම අත්දැකපු මිනිස්සු. දුප්පත්භාවයෙන් ජනතාව මුදා ගැනීම සඳහා නව ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒගොල්ලන්ට ඕනැ ජනතාව දුප්පත්භාවයේ හිරකර තබා ගැනීමට. ඒ ගොල්ලන්ට බලය ලබාගන්න හැකිවෙන්නේ දුප්පත්භාවයේ හිරකර තබාගැනීමන් තමයි. හාල් කිලෝ 10ක්, අරක්කු වීදුරුවක්, රුපියල් 1000ක්, බත් පැකට් එකක් දීලා එයාලාව රැස්වීම්වලට කැඳවා ගැනීමට පුළුවන්කම තිබෙනවා. දුප්පත් ජනතාව ඉදිරියේ එයාලාට කියන්න පුළුවන්, “අපි ආණ්ඩුව ගන්නවා, ආණ්ඩුව ගත්තාම දරුවාට රස්සාවක් දෙනවා” කියලා. කොල්ලට රස්සාව ගන්න ඒ පස්සේ යනවා. ඒ ගොල්ලෝ දුප්පත්භාවය තුරන් කිරීමට කටයුතු නොකර, එයාලගේ වුවමනාවන් සපුරා  ගැනීමට ජනතාව දුප්පත්භාවයේ පතුළටම තල්ලු කරනවා.

ජාතික ජන බලවේගයේ දේශපාලනය බෙදන දේශපාලනය නොවෙයි, හදන දේශපාලනය. ජනතාවගේ ජීවිතය උසස් කරන්න, කෘෂිකර්මාන්තය ගොඩනංවනවා, අධ්‍යාපනය දියුණු කරනවා. ගමේ අලුත් දැනුමක් සහිත තරුණ පරම්පරාවක් බිහිවෙනවා. නව ආර්ථික අවස්ථා ඇති වෙනවා. මේ තුළින් පමණයි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ හැකි වෙන්නේ. ඒ ගොල්ලන් මහජනතාවගේ ධනය කෝටි ගණන් සොරකම් කරපු අය. රාජ්‍ය සේවය කඩා වට්ටපු අය. මත්කුඩු ජාවාරම, එතනෝල් ව්‍යාපාර, අරක්කු ෆැක්ටරි තියන් ඉන්න අය, බාර් කරන අය. ජාතික ජන බලවේගයේ අය කිසිවෙක් බාර් කරන්න, පෙට්‍රල් ෂෙඩ් ගන්න එන්නේ නැහැ, මැණික් පතල් කරන්න, වැලිතොටුපළවල් දාන්න එන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් කරන්නේ රටත්, ආර්ථිකයත් නිවැරදි දිසාවට මෙහෙය වන එකයි. පාලකයාට වෙන හැන්දකිනුත්, ජනතාවට තව හැන්දකිනුත් බෙදන ආණ්ඩුවක් නොවෙයි, හැමදෙනාටම සමාකාර ලෙස ජීවිතයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දේ කරන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් එක් වරක් හෝ හදමු. මේක තීරණාත්මක අවස්ථාවක්. අපි ඕගොල්ලන්ට කියන්නේ බලය ගන්න අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මේ අවස්ථාව අත් නොහරිමු.”

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved