පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ සම්බන්ධතා ජාලය පිළිබඳ තොරතුරු පුළුල් විමර්ශනයකින් පසු බොහෝ දුරට නිරාකරණය කරගෙන ඇති බව වාර්තා වේ .
මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුවටා සිටින පිරිසක් මෙම සොරකමට සෘජුව දායක වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර එම දේශපාලකයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු, එම දේශපාලකයා සමග සමීප සම්බන්ධතා පවත්වන කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලූ ව්‍යාපාරිකයෙකු එම පුරාවස්තු සොරකමට සෘජුව සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වෙමින් තිබේ.
කුණ්ඩසාලය ප්‍රදේශයේ එම කෝටිපති ව්‍යාපාරිකයා අදාල දේශපාලකයාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ කෝටි ගණන් වූ කළු සල්ලි විවිධ පුද්ගලයන්ට පොලියට ලබාදෙමින් ලක්ෂ ගණනින් මුදල් උපයන්නෙකු බවද කියති .
දැනට එම පුරාවස්තුව කොළඹ කිසියම් ස්ථානයක සඟවා ඇතැයි සැක කරන අතර සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අවශ්‍ය තොරතුරු මේ වන විටත් රැස්කරගෙන සිටි බව පැවසේ.
ඔහු අත්අඩංගුවට ගත් වහාම මෙම පුරාවස්තු කොල්ලයේ සුලමුල සහ ඊට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ තොරතුරු ජාලය හෙළිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විශ්වසය පල කරයි.
මූලාශය – අද