Connect with us

පුවත්

සමාජ මාධ්‍ය සටහනක් දුරදිග ගිහින්; ‌පොලිස්පති හා CIDයේ 3ක් උසාවි ගෙන්වයි 

Published

on

පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට ලබන පෙබරවාරි 27 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියම කළේය.

ඒ සමාජ මාධ්‍යයක පළ කරන ලද කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කැඳ වූ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් සලකා බලමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක තිසර, එම අංශයේ ස්ථානාධිපති සහ පොලිස්පති යන නිලධාරීන්ට මෙසේ අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයකු වන එම්. වී. බී. රැළපනාව මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. 

එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම කැඳවන ලදී.

එම අවස්ථාවේදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටීම විශ‌ේෂත්වයකි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා පොලිස්පති ඇතුළු එම වගඋත්තරකරුවන් තිදෙනා වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා සඳහන් කළේ යම් පැමිණිල්ලකට අදාළව තොරතුරු පුද්ගලයෙකු ඉල්ලා සිටි අවස්ථාවක පොලිසිය කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවය.

විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා එහිදී ප්‍රශ්න කර සිටියේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්ද? යන්නය.

එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වන බව එම අවස්ථාවේ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය සඳහන් කළාය.

විනිසුරු තුරෙයිරාජා මහතා එහිදී සඳහන් කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලබන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට වසර දෙකකට පමණ ඉහතදී වරදකරු කරනු ලැබූ රජයේ නිලධාරියකු පසුව තමන්ට උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලා යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇතැයි විනිසුරුවරයා සඳහන් කළේය.

මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙකු උසස්වීම් ඉල්ලා සිටින්නේ කෙසේදැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පැමිණිලි කරමින් ඉදිරිපත් කරනු ලබන නඩු සමථයට පත් කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති අතර, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සමථයකට පත්කරන්නේ කෙසේදැයි එහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අනුමත කළ නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා එවැනි සමථයකදී අගතියට පත්වූවන්ට ලැබෙන යුක්තිය කුමක් දැයි ප්‍රශ්න කළේය.

අනතුරුව පෙත්සම යළි ලබන පෙබරවාරි මස 27 දා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේය.

සමාජ මාධ්‍යයක තමන් සිදු කළ පළකිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දුරකතන මාර්ගයෙන් තමාට දැනුම් දූන් බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

තමාට එරෙහිව පවතින පැමිණිල්ල කුමක්ද? තමන්ට එරෙහිව පවතින චෝදනා මොනවාද? යනාදී කරුණු එම අවස්ථාවේදී පෙත්සම්කරු විසින් විමසා සිටිය ද ඊට අදාළ තොරතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

තමන්ට එම තොරතුරු ලබා නොදීම මඟින් පොලිස් නිලධාරීන් විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved