Connect with us

පුවත්

සමාජ මාධ්‍ය සටහනක් දුරදිග ගිහින්; ‌පොලිස්පති හා CIDයේ 3ක් උසාවි ගෙන්වයි 

Published

on

පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට ලබන පෙබරවාරි 27 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියම කළේය.

ඒ සමාජ මාධ්‍යයක පළ කරන ලද කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කැඳ වූ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් සලකා බලමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක තිසර, එම අංශයේ ස්ථානාධිපති සහ පොලිස්පති යන නිලධාරීන්ට මෙසේ අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයකු වන එම්. වී. බී. රැළපනාව මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. 

එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම කැඳවන ලදී.

එම අවස්ථාවේදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටීම විශ‌ේෂත්වයකි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා පොලිස්පති ඇතුළු එම වගඋත්තරකරුවන් තිදෙනා වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා සඳහන් කළේ යම් පැමිණිල්ලකට අදාළව තොරතුරු පුද්ගලයෙකු ඉල්ලා සිටි අවස්ථාවක පොලිසිය කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවය.

විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා එහිදී ප්‍රශ්න කර සිටියේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්ද? යන්නය.

එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වන බව එම අවස්ථාවේ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය සඳහන් කළාය.

විනිසුරු තුරෙයිරාජා මහතා එහිදී සඳහන් කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලබන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට වසර දෙකකට පමණ ඉහතදී වරදකරු කරනු ලැබූ රජයේ නිලධාරියකු පසුව තමන්ට උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලා යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇතැයි විනිසුරුවරයා සඳහන් කළේය.

මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙකු උසස්වීම් ඉල්ලා සිටින්නේ කෙසේදැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පැමිණිලි කරමින් ඉදිරිපත් කරනු ලබන නඩු සමථයට පත් කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති අතර, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සමථයකට පත්කරන්නේ කෙසේදැයි එහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අනුමත කළ නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා එවැනි සමථයකදී අගතියට පත්වූවන්ට ලැබෙන යුක්තිය කුමක් දැයි ප්‍රශ්න කළේය.

අනතුරුව පෙත්සම යළි ලබන පෙබරවාරි මස 27 දා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේය.

සමාජ මාධ්‍යයක තමන් සිදු කළ පළකිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දුරකතන මාර්ගයෙන් තමාට දැනුම් දූන් බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

තමාට එරෙහිව පවතින පැමිණිල්ල කුමක්ද? තමන්ට එරෙහිව පවතින චෝදනා මොනවාද? යනාදී කරුණු එම අවස්ථාවේදී පෙත්සම්කරු විසින් විමසා සිටිය ද ඊට අදාළ තොරතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

තමන්ට එම තොරතුරු ලබා නොදීම මඟින් පොලිස් නිලධාරීන් විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

ලේක් ඩ්‍රයිව් හි බිල්ඩින් ගහන්න ගිය ප්‍රේමලාල්ගේ ප්‍රයිම් රෙසිඩන්සීස් වංගු එළියට

Published

on

By

ප්‍රයිම් රෙසිඩන්සීස් නිසි අනුමැතීන් ලබාගැනීමකින් තොරව කොළඹ ලේක් ඩ්‍රයිව් හි ඇරඹීමට සැලසුම් කර ඇති බව කියන “The Golf – Colombo 08”  නිවාස ව්‍යාපෘතියකට ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

කොළඹ 08 ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මේ ව්‍යාපෘතිය මහල් 12කින් සමන්විත බව අදාළ සමාගම සමාජ මාධ්‍ය ඔස්සේ ලබාදී ඇති ප්‍රචාරවල දැක්වේ.

එම ප්‍රචාරයන්ට අනුව අදාළ ඉදිකිරීම නිවාස 64කින් සමන්විත බවත්, නිවසක් වෙන් කර ගැනීමට 25%ක් ගෙවීම ප්‍රමාණවත් බවත් වාර්තා වේ.

“අද දෙරණ” මෙම ව්‍යාපෘතිය දියත් කරන අදාළ නිවාස සමාගමෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු මෙය වසර කිහිපයක් තුළ නිසැක වශයෙන් නීත්‍යානුකූල අන්දමින් ඉදිවන මහල් 12ක නිවාස ව්‍යාපෘතියක් බව සඳහන් කළ බවද දැක්වේ.

කෙසේවෙතත් නාගරික සංවර්ධන අධිකාරිය ලබාදී ඇති තොරතුරුවලට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කොළඹ නගර සභාවේ මලපවාහන ඒකකය ඇතුළු අදාළ ආයතන 7 කින් නිසි අවසරය ලබාගැනීමේ පොරොන්දුව මත පදනම්ව පමණක් මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේ අවසර ගෙන ඇති බවය.

ඉන් ගම්‍ය වන්නේ කුමන හෝ ගැටලුවක් මත එකී අනුමැතීන් නොලැබුණහොත් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා නොහැකිව අතරමග ඇණහිටිනු ඇති බවයි.

එසේ නම් මෙය දැනටමත් ලැබී නොමැති අනුමැතියක් ලැබේයැයි සිතුවිල්ල මත ගැනුම්කරුවන් ඇපයට තබා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් බව අද දෙරණ කියා සිටී.

එමෙන්ම දැනටමත් කාර්යබහුල මාර්ගයක් වන – මෙම නිවාස ව්‍යාපෘතියේ පිවිසුම් මාර්ගය වන ලේක් ඩ්‍රයිව් මාවත සහ එහි යටිතල පහසුකම් මෙවැනි ව්‍යෘපෘතියක් සඳහා ප්‍රමාණවත්ද යන්න පිළිබඳවත් ගැටලු මතුව තිබේ.

තත්ත්වය මෙසේ තිබියදීත් ප්‍රයිම් රෙසිඩන්සීස් මේ ව්‍යාපෘතිය සඳහා මෙතෙක් කිසිදු ආයතනයකින් අනුමැතිය ඉල්ලා නැතැයි වාර්තා වේ.

නිසි අවසර ලබාගැනීමක් නොමැතිව, ඉදිකිරීම් කටයුතු අවනිශ්චිත තත්ත්වයේ පසුවන මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රචාරණ කටයුතු සිදුකිරීම රටේ ජනතාව මුළා කිරීමක් නොවන්නේ යැයිද ? අද දෙරණ විමසා සිටී.

ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සභාපති ධූරය දරණ ප්‍රයිම් ගෘෘප් හට අයත් ප්‍රයිම් රෙසිඩන්සීස් විසින් සිය ව්‍යාපෘති සඳහා හඳුන්වා දී තිබෙන 5% නැමැති ගෙවීමේ ක්‍රමයද මේවන වන විට මතහේදයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ අතර, අදාළ ව්‍යාපෘතියට මේවන විට ලේක් ඩ්‍රයිව් හි පදිංචි කරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් අවි අමෝරා ඇතැයි ද වාර්තා වේ.

එසේම රූපවාහිනී ආයතනයක් අයත් සමාගමක අධ්‍යක්ෂ වරියක් ද “The Golf – Colombo 08” හි අවට පදිංචි කාරියක් වීම නිසා  ප්‍රේමලාල්ගේ ප්‍රයිම් රෙසිඩන්සීස් හි වගතුගද මේවන විට හෙළිවෙමින් පවතින බව පැවසේ.

අදාළ කාරණාව අද දෙරණ වාර්තා කර තිබූ අයුරු

Continue Reading

පුවත්

ගාල්ල බන්ධනාගාරය තුළට උඩින් ආ පාර්සලය

Published

on

By

ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා ඇති මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන් ස්නානනය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම් පුද්ගලයෙකු විසින් පාර්සලක් විසි කර තිබේ.

එම පාර්සලය බන්ධනාගාර නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී මත්පැන් යැයි සැකකළ හැකි දියර සහිත බෝතල් 03ක්, දුරකථන චාජර් 01ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරය විමර්ෂණයක් පවත්වයි.

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන “ජාතික අනතුරු නිවාරණ සතිය”

Published

on

By

ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) ආරම්භ වේ.

ඒ යටතේ ලබන 11 වැනිදා දක්වා අනතුරු අවම කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ පුද්ගලයින් 10000- 12000 අතර පිරිසක් මිය යන බව, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම අනතුරු වලින් සිදුවන වාර්ෂික මරණ අතරින්, 7500 – 8000ත් අතර පිරිසක් රෝහල්ගත කිරීමටත් පෙර මියයන බවයි.

මේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved