Connect with us

පුවත්

සීනි බදු ගැන තොරතුරු ව්‍යාපාරිකයින්ට දුන් අය ගැන පරීක්ෂණයක් අවශ්‍යයි – මනූෂ

Published

on

සීනි බද්ද වෙනස් වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් පමණක් බැවින් සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්ද? කිසිවෙක් මේ පිළිබඳ තොරතුරු එළියට ලබා දුන්නේද?යන්න පිළිබඳ අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද කිසියම් කණ්ඩායමක් මෙම සීනි බදු වල සිදුවන වෙනස්කම් වලින් අයුතු ‌ලෙස ආදායම් ඉපයීමට කටයුතු කරන බැවින් ජනාධිපතිතුමා සීනි වලට උපරිම සිල්ලර මිලක් නියම කළ බවත් එසේ කිරිමෙන් ඔවුන්ට අයුතු ලාභ ලැබීමේ අවස්ථාව අහිමි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කර සිටි අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය.

 “සීනි වංචාව ගැන අපි එදා හඬ නැගුවා වගේම අදත් වංචාවක් වෙනවා නම් හඬ නගන්න කටයුතු කරනවා. අපි වංචාවක්, වැරැද්දක් වෙන තැනක කට වහගෙන ඉන්නේ නැහැ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය අපි හොයලා බැලිය යුතුයි. සීනි ලංකාවට ගොඩ බාන්න සූදානම් කරලා තියෙද්දී හෝ ගොඩ බෑවට පස්සේ බද්ද වැඩි කළාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒත් මෙතන තියෙන සෑබෑම ප්‍රශ්නය වෙන්නේ සීනි බදු වැඩි කරනවා කියන ආරංචිය ව්‍යාපාරිකයින්ට යන්නේ කොහොමද කියන කාරණයයි. මේ බද්ද වෙනස් වෙනවා කියන කාරණය කැබිනට් එක්ටවත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක දන්නේ රේගුවේ අයයි. එතකොටම මේක කොහෙන්ද එළියට ගිහින් තියෙන්නේ ? අපි අයවැවෙන් පඩි වැඩිකරන් සූදානම් වෙනකෙට ඒ තොරතුරු එළියට යනවා. ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා පඩි වැඩි කරන්න කියලා. ඒ වගේම බද්ද පනවන්න යනවා කියන කොටම ටක්ගාලා බඩු ටික ගේනවා. බද්දක් අඩුකරන්න සූදානම් වෙනකොට බඩු ටික හංගා ගන්නවා. එතකොට මේ සේරම තොරතුරු යන්නේ කොහෙන්ද ? මේවා කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි එළියට යන්නේ. මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. එහිදී මේ සීනි බදු වැඩි කිරීම ගැන කවුරු හරි දැනන් හටියාද? මේ තොරතුරු එළියට කිව්වාද ? කියන කාරණා ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. කණ්ඩායමක් මේ බදුවල සිදුවෙන වෙනස්කම් වලින් ආදායම් හොයන්න කටයුතු කරනවා. ඒ නිසාමයි ජනාධිපතිතුමා සීනි වලට උපරිම සිල්ලර මිලක් දැම්මේ. ඒ තීරණයත් එක්ක මේ බදු වැඩි කිරීමෙන් අයුතු ලාභ ලබන්න බැරිවෙනවා. අද මේ රටේ තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ හැමෝම ඉන්නවා. කාටවත් මේ ආණ්ඩුව පොදු ජන පෙරමුනේද, එක්සත් ජාතික පක්ෂයේද සමගි ජන බලවේගයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කියලා කියන්න බැහැ මොකද මේ හැමෝම වර්තමාන ආණ්ඩුවේ ඉන්නවා. මේ ආණ්ඩුව හැදුනේ රටේ මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවෙයි. මේ ආණ්ඩුව තමයි රටේ මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඔවුන්ව ගොඩගත්තේ. බඩු මිල වැඩි වෙලා තියෙනවා, ගෑස් මිල වැඩි වෙලා තියෙනවා, විදුලි බිල වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ වැඩි කරලා තියෙන්නේ මේ විදිහට හරි තෙල් ටික, ගෑස් ටික දීලා ණය ප්‍රතිව්‍යුහගතකරණයට යන්නයි. අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැත්තම් අපිට දිගටම බංකොලොත් රටක් විදිහටයි ඉන්න වෙන්නේ. එහෙම වුනොත් තවදුරටත් අපේ රටට සල්ලි කීයක්වත් ගේන්න ලැබෙන්නේ නැහැ. තව මාස තුන හතරකට පස්සේ රටේ ප්‍රතිව්‍යුහගතකරණය වුනාට පස්සේ, ලංකාවට ආයෝජකයින් එන්න පටන් ගන්නවා, ව්‍යාපාර දියුණු වෙනවා. එතකොට මිල අඩු කිරීම කෙසේ වෙතත් හැම දෙනාගේම අතේ සල්ලි ගැවසීම වැඩි වෙනවා. අපි රාජ්‍ය ආයතන කිසිවක් පාඩුවට දුවන්න ඉඩ දෙන්නේ නැහැ. සියලුම ආයතන පාඩු නොලබන ආයතන බවට පත්විය යුතුයි. ඒ වගේම ජනතාවගේ අතේ සල්ලි වැඩි වෙන නිසා ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙනවා. ඒ වගේම අස්වැසුම ඔස්සේ සුබසාධන කටයුතු ලෙස රුපියල් පහලොස් දාහක් ලැබෙනවා. ඒ වැඩි කටයුතු නිසා සියලුම පාර්ශවයන් සමබර වෙනවා. අද වෙනකොට පොලී අගය අඩුවෙලා තියෙනවා. එයින් පොඩි ව්‍යාපාරිකයාට වාසියක් වෙලා තියෙනවා. අපි කළයුත්තේ ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට තත්ත්වය ගොඩක් යහපත් අතට හැරෙයි කියලා මට කියන්න පුළුවන්. තානාපතිවරු තමන්ගේ නිල රාජකාරිය ගැන හරි අවබෝධයකින් වැඩ කරන්න ඕනේ. බහුතරයක් තානාපතිවරුන් ඉතාම හොදින් සේවය කරනවා. හැබැයි ඇතැම් අය තමන්ගේ තනතුරු ඔළුවට අරගෙන පුටු රත් කරමින් ඉන්න අවස්ථාත් තියෙනවා.”

පුවත්

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

Published

on

By

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද දින නියම කළේ ය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු ම 29 වනදා කැඳවීමට දින නියම කළේ ය.

2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ  විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පහක් ගොනු කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading

පුවත්

ජනපති සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Published

on

By

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ඇගැයුමට.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී අද (03) පෙරවරුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්  ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති  බව සඳහන් කළ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  දැනුම්වත් කළේය.

පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළඳාම, මිනිස් ජාවාරම් , ත්‍රස්තවාදය හා ආයුධ වෙළඳාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දුන් සහාය ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

සංචාරක, අයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඉතා සුරක්ෂිත රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ අතර පවතින වසර 70 ක ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳ සිහිපත් කළ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  ශ්‍රී ලංකාවේ රජය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ප්‍රසංශාවට ලක් කරන බව ද වෙළඳ, ආර්ථික,දේශපාලනික, සංචාරක හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  මෙහිදී  සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens), ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  ලේකම් ග්‍රෙගරි ලෝරන්ස් මොරියාටි (Gregory Laurence Moriarty), නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සයිමන් එරික් ඔ’කොනර් ( Simon Eric O’Connor), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් (Lalita Kapur) යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved