Connect with us

පුවත්

සුජීවගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර

Published

on

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ, තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙනි.

දීර්ඝ කරුණු සලකාබැලීමකින් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබුණි.

විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති 6ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එම වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වීමටද අධිකරණය නියෝග කර ඇත.

පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළේය.

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණද එම වාහනය 2022 වසරේ ලියාපදිංචි කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් පසුව ගරාජ් අංකයක් යටතේ එම වාහනය භාවිත කළ බවට පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන්නේය.

එම විමර්ශනයට පාදකවන පැමිණිල්ල විස්වසනීයත්වයෙන් තොර පදනම් විරහිත පැමිණිල්ලක් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දී ඇත.

එහෙත් වලාන දූෂණ මර්දන ඒකකය මගින් මුලින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කළ අතර එහිදී නීතිවිරෝධී ක්‍රියා කිසිවක් අනාවරණය නොවූ බවට එම විමර්ශන ඒකකය විසින් අධිකරණයට වාර්තා කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත.

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading

පුවත්

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී (UPDATE)

Published

on

By

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ දෙවැනි රැස්වීම් දිනය ලෙස අද (09) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද  පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව. 11.30 සිට  ‍ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 6ක් විවාද කිරීම සඳහා කාලය වෙන් කර තිබේ.

  1. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින්  ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාව
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව
  3. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින්  ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තා මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාව
  5. පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස්රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනාව
  6. පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ යෝජනාව මෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved