වටිනා මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් තත්පර කිහිපයකදී අහිමි කළ මහා සුනාමි ඛේදවාචකය සිදුව අදට (26) වසර විස්සක් සපිරේ.
දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව උදෑසන 6 යි විනාඩි 58ට උතුරු සුමාත්‍රා දූපත් සමීපයේ ගැඹුරු මුහුදේ මැග්නිටියුඩ් 9.1ක ප්‍රබල භූ කම්පාවක් සිදු විය.
නත්තලට පසු ඉරිදා දිනයේ විවේකීව ගතකළ කිසිවෙකුත් නොදැන සිටි මහා ව්‍යසනයක ආරම්භය එයයි.
විනාඩි කිහිපයකින් ත්‍රිකුණාමලයෙන් මුහුද ගොඩගලන බවට තොරතුරු ලැබුණි.
භූමිකම්පාවෙන් පැය දෙකකට පසුව හරියටම උදේ 9 යි 26 ට පැයට කිලෝමීටර් 800ක වේගයෙන් පැමිණි මුහුදු රළ අපේ රටේ වෙරළ තීරයෙන් රට ඇතුළු විය.
මිනිස් ඉතිහාසයේ අප අත්දුටු දැවැන්තම ස්වාභාවික ව්‍යසනය ආසියානු කලාපයේ රටවල් 14ක ජීවිත දෙලක්ෂ විසි හත්දහස් අටසිය අනූ අටක් අහිමි කළේ තත්පර කිහිපයකිනි.
අපේ රටෙත් ජීවිත 35,000ක් පමණ සුනාමියෙන් අහිමි විය.
පැරෑලියේ දුම්රියේ පමණක් අහිමි වූ ජීවිත ගණන 1270 කි.
තවත් 141 දෙනෙකුට සිදු වූයේ කුමක්දැයි අදටත් කිසිවෙකු දන්නේ නැත.
මේ අය සිහි කිරීම පෙරදැරිව ආරම්භ කළ ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 9ට ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශයේදී පැවැත්වේ.
ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ‘ජාතික සුරක්ෂිත දිනය’ සැමරුම් උත්සව පැවැත්වීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධාන කර තිබේ.
එමෙන්ම අද (26) පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීමට එක්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.