Connect with us

පුවත්

හරක් කටා, කුඩු සළිඳු ඇතුළු 8ක් මැඩගස්කරයේදී අත්අඩංගුවට!

Published

on

මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධානීන් ලෙස සැලැකෙන ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු ඇතුළු 08 දෙනකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මාර්තා 01 වැනිදාය.

මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය ඊයේ (06) වාර්තාකර ඇති ආකාරයට අනුව මොවුන් 08 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය. 

ඒ අය අතර හරක් කටාගේ බිරිඳ බව කියන තැනැත්තියක්ද සිටින බව පැවසේ. 

එම වෙබ් අඩවිය වාර්තාකර ඇති ආකාරයට අනුව ඇය මැලගාසි ජාතික තැනැත්තියකි.

අදාළ ප්‍රවෘත්තියට අනුව හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා එරට “නොසි බි” ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි පැවසෙන්නේ පෞද්ගලික ජෙට් යානයකිනි. 

පසුදින මේ අය අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළට පැමිණ ඇති බවද එහි සඳහන්ය. 

පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යාමේදී බව එරට මාධ්‍ය වාර්තාවලට අනුව පැවසේ.

අත්අඩංගුවට ගන්නා විට හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි. 

ඔහු නිල්පැහැති යුරෝපීය ඇඳුමකින් සැරසී සිට ඇත. 

ව්‍යාපාරික සංචාරයක් ලෙස ඔහු එරටට ඇතුළු වී ඇති බවද පෙනී ගොස් තිබේ. 

කුඩු සළිඳු ඇතුළු සෙසු පිරිස හරක් කටාගේ සහායකයින් මෙන්ම ආරක්ෂකයින් ලෙස පෙනී සිට ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් ලබාගත් නියෝග හා පොලිස් වාර්තාවන්ට අනුව ජාත්‍යන්තර පොලිසිය මඟින් හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු පාතාලයේ අපරාධකරුවන්ට එරෙහිව රතු නිවේදන නිකුත්කර තිබී ඇත. 

ඒ මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම සහ ආවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙනි.

මෙහිදී මැඩගස්කර ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව පැහැදිලිවම හඳුනාගෙන ඇත්තේ හරක් කටාව පමණි. 

කුඩු සළිඳුව හඳුනාගෙන ඇත්තේ ප්‍රශ්න කිරීම් හා විමර්ශන ඔස්සේ බව කියැවෙයි.

මැඩගස්කරයට පැමිණි හරක් කටා ඇතුළු පිරිස ඉවාටෝ සහ අම්බෝහිමංගකේලි හි පිහිටි සුඛෝපභෝගි හෝටල්වල නවාතැන් ගෙන සිට ඇති බවද අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනවලින් හෙළිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

එම හෝටල්වල ඇති ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව ඔහුගේ හැසිරීම් ගැන මෙන්ම තවත් බොහෝ දේවල් ආරක්ෂක අංශ මේ වන විට නිරීක්ෂණය කරමින් විමර්ශන පවත්වන බව සඳහන්ය.

ඉවාටෝ ගුවන්තොටුපොළ වෙත හෝටලයේ සිට හරක් කටා ඇතුළු පිරිස පැමිණ ඇත්තේ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක නැඟී බවද එම රථවල වර්ගයන්ද සමඟ එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පිරිස සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිට අවසානයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්ගේ සියලුම ජංගම දුරකතන මෙන්ම ඔවුන් ගුවන්තොටුපොළට පැමිණි වාහනද සමඟිනි. 

හරක් කටාගේ බිරිඳ බවට පෙනී සිටින කාන්තාව සතුව තිබී එරට මුදල් මිලියන තිස් දෙකක් ද තිබී සොයාගෙන තිබේ. 

එම මුදල් රාජසන්තක කළ බවද එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇති ආකාරයට අනුව හරක් කටා ඩුබායි, මලයාසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින සහ මැඩගස්කරය යන රටවල මත්කුඩු බෙදා හරින බවය. 

හරක් කටා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

හරක් කටා, කුඩු සළිඳු ඇතුළු අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර මෙරට තවත් මත්කුඩු ජාලයට සම්බන්ධ පිරිසක් සිටින බවට තොරතුරු නිල නොලත් මෙරට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත. 

එහෙත් මෙම අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජත්‍යන්තර පොලිස් ශාඛාවට නිල වශයෙන් ලැබී තිබුණේ නැත. 

හරක් කටා සහ කුඩු සළිඳුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගැනීමට කටයුතු කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවා මේ ගැන තොරතුරු ලැබී තිබුණේ නැත. 

මේ ගැන කළ විමසුමකදී වගකිවයුතු උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයෙන් තොරතුරු විමසා බලා මෙම අත්අඩංගුවට ගැනීම ගැන කරුණු තහවුරුකර ගන්නා බවය.

එම කරුණු තහවුරුකර ගැනීමෙන් අනතුරුව එරට සමඟ නිල වශයෙන් සාකච්ඡා පවත්වා සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම නිලධාරියා කීය. 

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මෙන්ම රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එරටට යැවීමට පවා එහිදී සිදුවනු ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙයට පෙරත් හරක් කටාව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයකට අනුව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. 

ඒ 2022 වසරේ අගෝස්තු 11 වෙනිදාය. 

ඩුබායි සිට මලයාසියාව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගත්තේය. 

එම අවස්ථාවේදීද ඔහු සමඟ කුඩු සළිඳු සිටි අතර ඔහු ඒ වන විට රැඳී සිට ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකිනි. 

එසේම හරක් කටාගේ බිරිඳ බව සඳහන් කාන්තාවක්ද එදාත් ඔහු සමඟ රැඳී සිටියේය.

එදා හරක් කටාව ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා විට ඔහු භාවිතකරමින් සිටියේ එම්. 6692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. 

හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස්කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රකින් පෙනී සිටි හරක් කටාව එසේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එම විදෙස් ගමන් බලපත්‍ර අංකය හඳුනාගෙන ජාත්‍යන්තර පොලිසියට කර තිබුණු දැනුම් දීමකට අනුවය. 

එසේ අත්අඩංගුවට ගත් හරක් කටාව මෙරටට පිටුවහල්කර ගැනීමට අවශ්‍ය වූ නීතිමය කරුණු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින් ඩුබායි පොලිසිය ඔහුව ඔක්තෝබර් 03 වෙනිදා නිදහස්කර තිබුණි.

පුවත්

කඳාන වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මරුට (Update)

Published

on

By

කඳානේදී අද (03) සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කරයි.


(පෙර පුවත 2025 ජුලි 03 පෙ.ව.11.02 )

කඳාන වෙඩිතැබීමකින් හිටපු ඇමති ගේ පෞද්ගලික ලේකම්ට තුවාලයි!

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හට කඳාන ජනතා පොළ ආසන්නයේදී අද (ජූලි 03) වෙඩි තබා තිබේ.

මෙම සිද්ධියෙන් හිටපු අමාත්‍ය – මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අතර, එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.

එක් අයෙකු රු. ලක්ෂ 2ක මුදල් ඇපයක් බැගින් හා රු. ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත නිදහස් කෙරුණි.

ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කෙරුණු අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

Continue Reading

පුවත්

මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ

Published

on

By

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එහි සේවකයන්ට දන්වා ඇත්තේ පරිපාලන අවුලක් නිරවුල් කර ගැනීමට මෙය තාවකාලිකව වසා දැමුණු බවයි.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධිතව ආරම්භ කරන ලද මොනරා TV ඉකුත් 2024-06-25 වැනිදා වෝටර්ස් එජි හි විශාල උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.


එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බුද්ධික වික්‍රමාදර මහතා ය.

කෙසේවුවද, ආදළ රූපවාහිනී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන ලද ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට රුපියල් ලක්ෂ 2000 ක පමණ හිඟ මුදල් පවතින බවද පැවසේ.

මේ අතර, ආර්ථික කඩාවැටීමකින් ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි මූල්‍ය අර්බුදයක සිටින බව පැවසේ.

ස්වර්ණවාහිනිය කලක සිට ටෙලිනාට්‍ය වලට ගෙවනු ලැබුවේ කොටස් 60ක් පමණ එම නාලිකාවේ විකාශයවීමෙන් පසුව බවද වාර්තා වේ.


ඒ අනුව ටෙලිනාට්‍ය නිෂ්පාදකයකුට රුපියල් ලක්ෂ 150ක් පමණ ටෙලිනාට්‍යකට ආයෝජනය කර එහි මුදල් ලබා ගැනීමට මාස තුනකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව ඇති බව ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු අප වෙත පැවසීය.

එසේ මුදල් ගෙවීමේදී ද මුදල් ගෙවනු ලබන්නේ කොටස් 5ක් වැනි ප්‍රමාණයකට බවද වාර්තා වේ.


මේ පිපිරීමත් සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් දැඩි අර්බුදයක පවතින බවද වාර්තා වේ.
එසේම, ස්වර්ණවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා එම ධූරයට පත්වීමට පෙර එයට ටෙලිනාට්‍ය සැපයූ ටෙලි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ විකාශය වූ ටෙලිනාට්‍යවල මුදල් ලබා ගැනීම තවත් අපහසුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ මුදල් සුසාරට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ උදාර විජේසිංහ මහතාගෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙස වත්මන් පාලන අධිකාරිය විසින් පැවැසීම නිසාය.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකරුවන්නේ ලයිකා මොබයිල් හිමිකාර සුභාෂ්කරන් අලි රාජා මහතා ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved